ක්ෂණික ආහාර ආපනශාලා සේවකයෙකු වන කෙවින් ෆෝර්ඞ් වසර විසි හතක් තුළ කිසිම වැඩ මුරයක් අතපසු කර නැත. ඔහුගේ දශක ගණනාවක සේවය සිහිපත් කිරීම සඳහා ඔහුට ලැබුණු නිහතමානි තෑග්ගක් වෙනුවෙන් ඔහුගේ නිහතමානි කෘතඥතාව පෙන්නුම් කරන වීඩියෝවක් මතු වූ පසු, දහස් ගණන් ජනයා ඔහුට කරුණාව දැක්වීමට එක් රොක් වූහ. අරමුදල් රැස් කිරීමේ උත්සාහයක් සතියක පමණ කාලයක් තුළ ඩොලර් 250,000ක් ගෙන එන විට “එය සිහිනයක්, සිහිනයක් සැබෑවක් වීම වැනිය,” කියා ඔහු පැවසීය.

යූදාහි පිටුවහල් කර සිටි රජතුමා වන යෙහෝයාඛින්ද අතිශයින් කරුණාව ලැබූ අයෙකි. බබිලෝනියානු රජුගේ කරුණාව නිසා ඔහු නිදහස් වීමට පෙර වසර තිස් හතක් සිරගතව සිටියේය. “(එම රජතුමා) හිරගෙයින් ඔහුව නිදහස් කොට ඔහුට කරුණාවෙන් කථා කොට බබිලෝනියේ ඔහු සමඟ සිටි රජුන්ගේ සිංහාසනවලට වඩා ඔහුගේ සිංහාසනය උසස් කළේය” (යෙරමියා 52:31-32). යෙහෝයාඛින්ට අලුත් තනතුරක්, අලුත් ඇඳුම් පැළඳුම් සහ අලුත් වාසස්ථානයක් ලබා දෙන ලදී. ඔහුගේ නව ජීවිතයට සම්පූර්ණයෙන් අරමුදල් සපයන ලද්දේ රජු විසිනි.

යේසුස්වහන්සේගේ මරණය සහ උත්ථානය කෙරෙහි විශ්වාස කරන පුද්ගලයන් තමන්ගෙන් හෝ අන් අයගෙන් කිසිදු දායකත්වයක් නොමැතිව කෙනෙක් දෙවියන්වහන්සේගෙන් වෙන්වීමෙන් අධ්‍යාත්මිකව ගලවා ගනු ලබන්නේ කෙසේදැයි මෙම කථාවෙන් පෙන්නුම් කෙරේ. ඔවුන්ව අන්ධකාරයෙන් හා මරණයෙන් ආලෝකය සහ ජීවනයට ගෙන එනු ලබන්නේත් ඔවුන් දෙවියන්වහන්සේගේ පවුලට ගෙන එනු ලබන්නේත් දෙවියන්වහන්සේගේ අසීමිත කරුණාව නිසාය.