සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය අඳුරු වූ අතර, කථිකයා කැපවීමේ යාච්ඤාවකට අපට මඟ පෙන්වන අවස්ථාවේදී අප අතර සිටි විශ්වවිද්‍යාල සිසුන් දහස් ගණනක් හිස නමා ගත්තෝය. විදේශීය සේවය සඳහා කැඳවනු ලැබු බව හැඟුණු අය නැගී සිටින ලෙස කියා, ඔවුන්ට ඉදිරියට පැමිණෙන්නට ආරාධනා කළ අවස්ථාවේදී මගේ මිතුරිය ලිනෙට් ඇගේ අසුනෙන් පිටව යන බවක් මට දැනෙන්නට වූ අතර ඇය පිලිපීනයේ ජීවත් වීමට සහ සේවය කිරීමට පොරොන්දු වී සිටි බව මා දැන සිටියෙමි. එහෙත් මට සිටගැනීමට කිසිම උවමනාවක් දැනුනේ නැත. එක්සත් ජනපදයේ අවශ්‍යතා දුටු මට මගේ මව්බිම තුළ දෙවියන්වහන්සේගේ ප්‍රේමය බෙදා ගැනීමට අවශ්‍ය විය. නමුත් දශකයකට පසුව, මම මගේ අසල්වැසියන් ලෙස දෙවියන්වහන්සේ මට දුන් මිනිසුන් අතර සේවය කිරීමට සොයමින්, බි්‍රතාන්‍යයේ මගේ නිවස තනාගත්තෙමි. මම බලාපොරොත්තු වූවාට වඩා වෙනස් ගමනකට දෙවියන්වහන්සේ මට ආරාධනා කළ බව දැනගත් විට මම මගේ ජීවිතය ගත කරන්නේ කෙසේද යන්න පිළිබඳ මගේ අදහස වෙනස් විය.

තමන්ව අනුගමනය කිරීමට උන්වහන්සේ කැඳවූ ධීවරයන් ඇතුළු උන්වහන්සේට හමු වූ අයව යේසුස්වහන්සේ බොහෝ විට පුදුමයට පත් කළ සේක. මිනිසුන් ඇල්ලීමට ක්‍රිස්තුස්වහන්සේ ඔවුන්ට නව මෙහෙයුමක් ලබා දුන් විට, පේත්‍රැස් සහ අන්ද්‍රෑ ඔවුන්ගේ දැල් “එකෙණෙහිම” අත්හැර උන්වහන්සේ පසුපස ගියහ (මතෙව් 4:20), යාකොබ් සහ යොහන්ද “එකෙණෙහිම” ඔවුන්ගේ බෝට්ටුව අතහැර උන්වහන්සේ අනුව ගියහ (22 පදය). ඔවුන් යේසුස්වහන්සේ සමඟ මෙම නව වික්‍රමය ආරම්භ කළ අතර, ඔවුන් යන්නේ කොහේදැයි නොදැන සිටියත් ඔවුන් උන්වහන්සේව විශ්වාස කළහ.

ඇත්ත වශයෙන්ම, දෙවියන්වහන්සේ බොහෝ කිතුණුවන්ව, ඔවුන් ජීවත්වන ස්ථානයේම උන්වහන්සේට සේවය කිරීමට කැඳවන සේක! සේවය සඳහා වෙනත් ප්‍රදේශයකට ගියත්, අප ජීවත්වන ප්‍රදේශයේ නැවතී සිටියත් අප සියල්ලන්ටම අප සිහිනෙන්වත් නොසිතිය හැකි ආකාරයෙන් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට අපූරු අත්දැකීම් සහ අවස්ථාවන් සමඟ අපව පුදුමයට පත් කිරීම අපේක්ෂාවෙන් උන්වහන්සේ දෙස අපට බලා සිටිය හැක.