මගේ මිතුරිය මිෂෙල් මගේ දුවට අශ්වයෙකු පිට නැගී යෑමට උගන්වමින් සිටි ගබඩාවේ අපි සිටින විට වාතය හම් සහ ඕට්ස් සුවඳින් පිරී තිබුණි. මිෂෙල්ගේ සුදු පෝනියාගේ දත් පිටුපස කටකලියාව කටේ තබන ආකාරය පෙන්වද්දී ඌ උගේ මුඛය විවෘත කළේය. ඇය උගේ කන් දෙකට ඉහළින් කටකලියාව අදින විට, මිෂෙල් පැහැදිලි කළේ අශ්වයාගේ වේගය අඩු කර ඌව වමට හෝ දකුණට ගෙන යාමට අශ්වාරෝහකයාට ඉඩ සැලසෙන නිසා කටකලියාව වැදගත් බවයි.

මිනිස් දිව මෙන් අශ්වයෙකුගේ කටකලියාව කුඩා නමුත් වැදගත් ය. මේ දෙකම විශාල හා බලවත් දෙයක් කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි – ඒ අශ්වයාට කටකලියාවත්, අපගේ දිව සඳහා, අපගේ වචනත් වේ (යාකොබ් 3:3, 5).
අපගේ වචන විවිධ දිශාවලට ගමන් කළ හැකිය. ”එයින් ස්වාමිවූ පියාණන් වහන්සේට අපි ප්‍රශංසා කරමුව; එයින්ම ……. මනුෂ්‍යන්ට අපි ශාප කරමුව” (9 පදය). අවාසනාවන්ත ලෙස, වචන අපගේ හදවත් වලින් පැන නගින බැවින් අපගේ වචන පාලනය කිරීම ඉතා අපහසු බවට බයිබලය අනතුරු අඟවයි (ලූක් 6:45). ස්තුතිවන්ත වෙන්න, සෑම ඇදහිලිවන්තයෙකුම තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් ජීවත් වෙමින්, අපට ඉවසීම, යහපත්කම සහ ආත්ම දමනය වර්ධනය කිරීමට උපකාර කරයි (ගලාති 5:22-23). අපි ආත්මයාණන් වහන්සේ සමඟ සහයෝගයෙන් කටයුතු කරන විට, අපගේ හදවත් වෙනස් වන අතර අපගේ වචනද වෙනස් වේ. අසභ්‍ය වචන ප්‍රශංසාවට හැරේ. බොරු කීම සත්‍යයට මග පාදා දෙයි. විවේචන දිරිගැන්වීමක් බවට පරිවර්තනය වේ.

දිව හීලෑ කිරීම යනු නිවැරදි දේ කීමට අපව පුහුණු කිරීම පමණක් නොවේ. එය ශුද්ධාත්මයාණන්ගේ මඟ පෙන්වීම පිළිගනිමින් අපගේ වචන තුළින් අපගේ ලෝකයට අවශ්‍ය කරුණාව සහ දිරිගැන්වීම ජනනය කරයි.