යුක්රේනියානු කාන්තාවන් සහ ළමුන් දහස් ගණනක් යුද්ධයෙන් පලා යමින් ජර්මනියේ අගනුවර වන බර්ලිනයේ දුම්රිය ස්ථානයට පැමිණි විට, ඔවුන් පුදුමයට පත් විය. ඒ ජර්මානු පවුල් තම නිවෙස්වල රැකවරණය ලබා දිය හැකි බව දැක්වෙන අතින් සාදන ලද පුවරු අල්ලාගෙන සිටීමය. “පුද්ගලයන් දෙදෙනෙකුට සත්කාර කළ හැකිය!” එක් පුවරුවක ලියා තිබුණි. “විශාල කාමරයක් තිබේ,” කියා වෙනත් පුවරුවක ලියා තිබුණි. එවැනි ආගන්තුක සත්කාරයක් ලබා දෙන්නේ මන්දැයි ඇසූ විට, එක් කාන්තාවක් පැවසුවේ නාට්සීන්ගෙන් පලා යන විට තම මවට රැකවරණය අවශ්‍ය වූ බවත්, එනිසා එවැනි අවශ්‍යතා ඇති අන් අයට උපකාර කිරීමට ඇයට ඕනෑ කමක් ඇති බවත්ය.

ද්වීතීය කථාවේදී, දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල්වරුන්ට තම මව්බිමෙන් ඈත සිටින අයව රැකබලා ගන්නා ලෙස ඉල්ලා සිටි සේක. එයට හේතුව කුමක්ද? උන්වහන්සේ පියා නැත්තාගේද වැන්දඹුවගේද විදේශිකයාගේද ආරක්‍ෂකයා වන හෙයිනුත් (10.18), සහ ඊශ්‍රායෙල්වරුන් එවැනි අවදානමක් දැන සිටි නිසාවෙනුත්ය : “මක්නිසාද නුඹලා මිසර දේශයෙහි විදේශියෝව සිටියහුය” (19 පදය). සහකම්පනය ඔවුන්ගේ රැකවරණය සඳහා පෙළඹවීමක් ඇති කළේය.
මෙහිදී මෙයට තව අංශයක්ද තිබේ. ශාරෙපත්හි වැන්දඹුව විදේශික එලියාව ඇගේ නිවසට පිළිගත් විට ආශිර්වාද ලැබුවේ ඇයයි (1 රාජාවලිය 17:9-24). ඒ හරියටම ආබ්‍රහම්ගේ නිවසට පැමිණි විදේශීය අමුත්තන් තිදෙනා ගෙන් ඔහු ආශීර්වාද ලබා ගත්තාක් මෙනි (උත්පත්ති 18:1-15). දෙවියන්වහන්සේ බොහෝ විට ආගන්තුක සත්කාරය භාවිතා කරන්නේ ආගන්තුකයාට පමණක් නොව සත්කාරකයාටද ආශීර්වාද කිරීමට ය.

ඔබේ නිවසට ආගන්තුකයන් පිළිගැනීම දුෂ්කර ය, නමුත් එම ජර්මානු පවුල් සැබෑ ප්‍රතිලාභීන් විය හැකිය. අපත් දෙවියන්වහන්සේගේ සහකම්පනය සමඟ අවදානමට ලක් වූවන්ට ප්‍රතිචාර දක්වන විට, උන්වහන්සේ ඔවුන් හරහා අපට දෙන ත්‍යාග ගැන අප පුදුම වනු ඇත.