ඔහු හැදී වැඩෙන විට, පවුලක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි ෂෝන් දැන සිටියේ නැත. ඔහුගේ මව මිය ගොස් ඇති අතර ඔහුගේ පියා නිවසේ සිටියේ නැති තරම්ය. ඔහුට බොහෝ විට තනිකමක් සහ අතහැර දමා ඇති බවක් දැණුනි. කෙසේ වෙතත්, ඒ අසල ජීවත් වූ යුවළක් ඔහු වෙත ළඟා විය. ඔවුන් ඔහුව තම නිවසට ගෙන ගොස් ඔවුන්ගේ දරුවන් ඔහුට “ලොකු සහෝදරයා” සහ “ලොකු සහෝදරිය” බවට පත් කළ විට, තමාට ආදරය ලැබෙන බවට එය සහතිකයක් ලබා දුන්නේය. ඔවුන් ඔහුව දේවස්ථානයට ගෙන ගිය අතර, දැන් විශ්වාසවන්ත තරුණයෙකු වන ෂෝන් අද තරුණ නායකයෙකි.

තරුණ ජීවිතයක් හැරවීමට මෙම යුවළ එතරම් ප්‍රධාන කාර්්‍යභාරයක් ඉටු කළද, ඔවුන් ෂෝන් වෙනුවෙන් කළ දේ දේවස්ථාන පවුලේ බොහෝ අය දැන සිටියේ නැත. නමුත් දෙවියන්වහන්සේ දන්නා අතර ඔවුන්ගේ විශ්වාසවන්තකම නිසා විපාකයක් වශයෙන් යම් දිනකදී බයිබලයේ “ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන්ගේ” ලැයිස්තුවට ඔවුන් ඇතුළත් වන බවට මම විශ්වාස කරන්නෙමි. හෙබ්‍රෙව් 11 ආරම්භ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ප්‍රබල ඇදහිලිවන්තයන්ගේ නම් වලිනි. නමුත්, අප කිසිදා නොදන්නා, ගණන් කළ නොහැකි තවත් බොහෝ අය ගැන “මොවුන් සියල්ලෝ ස්වකීය ඇදහිල්ල කරණකොටගෙන සාක්ෂිය ලැබ” (39 පදය) යනුවෙන් සඳහන් වන්නේය. “ඔවුන්ගේ විසීමට ලෝකය නොවටින්නේය” (38 පදය) යනුවෙන් හෙබ්‍රෙව් පොතේ ලේඛකයා තවදුරටත් පවසයි.

අපගේ කරුණාවන්ත ක්‍රියාවන් අන් අයගේ අවධානයට ලක් නොවූවත්, දෙවියන්වහන්සේ ඒ දේවල් දකින සේක. දන්නා සේක. අපි කරන දේ සුළු දෙයක් මෙන් පෙනෙන්නට පුළුවන ; උදාහරණයක් වශයෙන් යම් යහපත් ක්‍රියාවක් හෝ දිරිගන්වන වචනයක් විය හැකිය. නමුත් දෙවියන්වහන්සේට, මෙම සුළු ක්‍රියාව තුළින් පවා උන්වහන්වහන්සේගේ කාලයේදී සහ උන්වහන්සේගේ ක්‍රමයට අනුකූලව උන්වහන්සේගේ නාමයට මහිමය ගෙන ඒමට භාවිතා කළ හැක. අන් අය නොදැන සිටියත් උන්වහන්සේ සියල්ල දන්නා සේක.