ළදරුවෙකු අඬන විට, එම දරුවා වෙහෙසට පත් වී හෝ බඩගිනි වී හෝ සිටින බවට සංඥාවක්, එසේ නොවේද? බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරුන්ට අනුව, අලුත උපන් බිළිඳෙකුගේ හැඬීමෙහි සියුම් වෙනස්කම් වෙනත් ගැටළු සඳහා වැදගත් ඉඟි ලබා දිය හැකිය. බිළිඳාගේ මධ්‍යම ස්නායු පද්ධතියේ යම්කිසි දෝෂයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා හඩේ උස් පහත් ප්‍රමාණය, පරිමාව, සහ අඬන ශබ්දය කෙතරම් පැහැදිලිද යන්න වැනි අඬන සාධක මනින පරිගණක වැඩසටහනක් වෛද්‍යවරුන් විසින් නිර්මාණය කරන ලදී.

දෙවියන්වහන්සේ තම සෙනඟගේ මොරගැසීම්වලට සවන් දෙන බවත්, ඔවුන්ගේ හදවත් වල තත්ත්වය තීරණය කරන බවත්, කරුණාවෙන් ප්‍රතිචාර දක්වන බවත් යෙසායා අනාවැකි පළ කළේය. යුදෙව්වන් දෙවියන් වහන්සේගෙන් උපදෙස් ලබා ගන්නවාට වඩා, උන්වහන්සේගේ අනාගතවක්තෘවරයා නොසලකා හැර ඊජිප්තුවෙන් උපකාර පතමින් ඔවුන් සමඟ සන්ධානයක් ඇති කර ගත්තෝය (යෙසායා 30:1-7). දෙවියන්වහන්සේ ඔවුන්ට කථා කරමින්, ඔවුන්ගේ කැරලිකාරකම දිගටම පවත්වා ගෙන යාමට තීරණය කළහොත්, උන්වහන්සේ ඔවුන්ට පරාජය සහ නින්දාව ගෙන එන බව කී සේක. කෙසේ වෙතත්, උන්වහන්සේ “නුඹලාට කරුණා කරන්ට බලා සිටින සේක. . .නුඹලාට අනුකම්පා කරන්ට නැඟිටින සේක” (18 පදය). ඔවුන්ට මිදීම පැමිණෙනු ඇත, ඒ ඔවුන්ගේ පසුතැවිල්ල සහ ඇදහිල්ලේ මොරගැසීමෙන් පමණි. දෙවියන්වහන්සේගේ සෙනඟ උන්වහන්සේට මොරගැසුවේ නම්, උන්වහන්සේ ඔවුන්ගේ පව්වලට සමාව දී ඔවුන්ගේ අධ්‍යාත්මික ශක්තිය සහ ජීව ශක්තිය අලුත් කරන සේක (8-26 පද).

අද දිනදී යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයන් සඳහා ද එය එසේම වේ. අපගේ පසුතැවිලි වීමේ සහ විශ්වාසයේ පැහැදිලි මොරගැසීම් අපගේ ස්වර්ගික පියාණන්ගේ සවනේ වැටුණු විට, උන්වහන්සේ ඒවා අසා, අපට සමාව දී, උන්වහන්සේ තුළ අපගේ ප්‍රීතිය හා බලාපොරොත්තුව අලුත් කරන සේක.