නටාලියා වෙනත් රටකට ගියේ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වූ පොරොන්දුවක් මතය. නමුත් වැඩි කල් නොගොස් ඇගේ නව නිවසේ පියා ඇයට ශාරීරික හා ලිංගික අතවර කිරීමට පටන් ගත්තේය. වැටුප් නොමැතිව තම නිවස සහ දරුවන් රැකබලා ගන්නා ලෙස ඔහු ඇයට බල කළේය. ඇයට පිටතට යාමට හෝ දුරකථනය භාවිතා කිරීමට හෝ ඉඩ දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. ඇය, ඔහුගේ වහලිය බවට පත්ව සිටියාය.

හාගර්, ආබ්‍රම්ගේ සහ සාරයිගේ මිසර දාසිය වූවාය. කිසිවෙකු ඇගේ නම භාවිතා කළේ නැත. ඔවුන් ඇයව හැඳින්වූයේ “මගේ වහලිය” හෝ “ඔබේ වහලිය” යනුවෙනි (උත්පත්ති 16:2, 5-6). ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ට උරුමක්කාරයෙකු ලබා ගැනීමට ඇයව භාවිතා කිරීමට පමණි.

දෙවියන්වහන්සේ කොතරම් වෙනස්ද! සමිඳාණන් වහන්සේගේ දූතයා පාළුකරයේ ගැබිනි හාගර්ට කතා කරන විට ශුද්ධ ලියවිල්ලෙහි උන්වහන්සේගේ පළමු දර්ශනය එය වූ සේක. දේවදූතයා, දෙවියන්ගේ දූතයා හෝ දෙවියන්වහන්සේම විය හැකිය. හාගර්, මෙම දේවදූතයා දෙවියන්වහන්සේ බව විශ්වාස කළාය, මන්ද ඇය පවසන පරිදි, “මා දක්නා වූ උන්වහන්සේ දෙස මෙහිදී බැලුවායින් පසු පවා ජීවත් වුණා නොවේදැයි” යනුවෙන් ඈ කී නිසාය (13 පදය). දේවදූතයා දෙවියන්වහන්සේ නම්, උන්වහන්සේ බොහෝ දුරට පුත්‍රයාණන් විය හැකිය – දෙවියන්වහන්සේව අපට හෙළි කරන තැනැන්වහන්සේ මෙළොවට පැමිණෙන මුල් අවස්ථාව මෙයයි. උන්වහන්සේ ඇගේ නමින් ඇයව අමතන සේක, “සාරයිගේ දාසීවූ හාගර්, නුඹ කොතැන්හි සිට ආයෙහිද? කොතැනට යන්නෙහිදැයි කීසේක” (8 පදය).

දෙවියන්වහන්සේ නටාලියාව දුටු අතර ඇයව බේරාගත් සැලකිලිමත් මිනිසුන් ඇගේ ජීවිතයට ගෙන ආ සේක. ඇය දැන් හෙදියක් වීමට ඉගෙනුම ලබයි. දෙවියන්වහන්සේ හාගර් දැක ඇයව නමින් හැඳින්වූ සේක. තවද දෙවියන්වහන්සේ ඔබවද දකින සේක. ඔබව නොසලකා හැරීමකට හෝ ඊටත් වැඩි අපයෝජනයකට ලක්ව සිටිනවා විය හැකිය. යේසුස්වහන්සේ ඔබට නමින් අමතන සේක. උන්වහන්සේ වෙත දිව යන්න.