අක්ෂි වෛද්‍යවරයා තුන් හැවිරිදි ඇන්ඩි්‍රයාස්ට ඔහුගේ පළමු ඇස් කණ්නාඩි යුවල සකස් කර ගැනීමට උදව් කළේය. “කණ්ණාඩිය දෙස බලන්න,” ඇය පැවසුවාය. ඇන්ඩි්‍රයාස්, කණ්ණාඩියේ ඔහුගේ ඡායාව දෙස බලා, ප්‍රීතිමත් හා ආදරණීය සිනහවකින් තම පියා දෙසට හැරුණේය. එවිට ඇන්ඩි්‍රයාස්ගේ පියා තම පුතාගේ කම්මුල් දිගේ ගලා ගිය කඳුළු මෘදු ලෙස පිසදමා “ප්‍රශ්නය කුමක්ද?” කියා ඇසුවේය. ඇන්ඩි්‍රයාස් තම පියාගේ ගෙල වටා දෑත් ඔතා “මට ඔබව පෙනෙනවා” කියා පැවසීය. ඔහු පිටුපසට ගොස්, හිස ඇල කර, පියාගේ දෑස් දෙස බලමින් “මට ඔබව පෙනෙනවා” කියා නැවතත් පැවසීය.

අපි යාච්ඤාවෙන් යුතුව බයිබලය අධ්‍යයනය කරන විට, ශුද්ධාත්මයාණන් වහන්සේ “අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය” වන යේසුස්වහන්සේව දැකීමට අපට ඇස් ලබා දෙන සේක (කොලොස්සි 1:15). කෙසේ වෙතත්, ශුද්ධ ලියවිල්ල මගින් අපගේ දැනුම වර්ධනය වී ආත්මයාණෝ විසින් අපගේ දර්ශනය පැහැදිලි කර තිබුණත්, සදාකාලිකත්වයේ මෙහා පැත්තේ සිට අපට තවමත් දැකිය හැක්කේ දෙවියන්වහන්සේගේ අසීමිත අතිමහත් බව පිළිබඳ කුඩා දර්ශනයක් පමණි. පෘථිවියේ අපගේ කාලය අවසන් වූ විට හෝ යේසුස්වහන්සේ නැවත පැමිණෙන බවට දුන් උන්වහන්සේගේ පොරොන්දුව ඉටු කරන විට, අපට උන්වහන්සේව පැහැදිලිව දැකිය හැක (1 කොරින්ති 13:12).

අපි ක්‍රිස්තුස්වහන්සේව මුහුණට මුහුණ දැක ඇති නිසාත් අප එකිනෙකාව උන්වහන්සේ දන්නා ආකාරයට අපිත් උන්වහන්සේව දන්නා නිසාත්, ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරය වන සභාවේ ප්‍රේමණීය සාමාජිකයන් වන අපට එම ප්‍රීතියෙන් පිරුණු මොහොතේ විශේෂ ඇස් කණ්ණාඩි අවශ්‍ය නොවනු ඇත. අපි අපගේ ප්‍රේමණීය සහ ජීවමාන ගැළවුම්කරුවාණෝ දෙස බලා, “මට ඔබවහන්සේව පෙනෙනවා, යේසුනි. මට ඔබවහන්සේව පෙනෙනවා!” කියා කීමට මොහොත පැමිණෙන තුරු ස්ථිරව සිටීමට අවශ්‍ය ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය ශුද්ධාත්මයාණන් වහන්සේ අපට ලබා දෙන සේක.