ආදරණීය මිතුරියකගේ මරණයෙන් සති කිහිපයකට පසු මම ඇගේ මව සමඟ කතා කළෙමි. එය නොගැළපෙන ප්‍රශ්නයක් යැයි මට සිතුණු නිසා ඇයට කොහොමද කියා ඇසීමට මම දෙගිඩියාවෙන් සිටියෙමි; ඇය දුක් වෙමින් සිටියාය. නමුත් මම මගේ අකමැත්ත පසෙකට තල්ලු කර ඇය දරා ගෙන සිටින්නේ කෙසේදැයි සරලව ඇසුවෙමි. ඇගේ පිළිතුර:“සවන් දෙන්න, මම ප්‍රීතිය තෝරා ගන්නෙමි.”
මගේ ජීවිතයේ සමහර අප්‍රසන්න තත්ත්වයන් ඉක්මවා යාමට මා වෙහෙසෙද්දී ඇගේ වදන් මට එදා සේවයක් කළාය. එමෙන්ම ද්විතීය කථාව අවසානයේ මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ට දුන් ආඥාවද, ඇගේ වචන මට මතක් කර දුන්නේය . මෝසෙස්ගේ මරණය සහ ඊශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල් වීමට මොහොතකට පෙර, ඔවුන්ට තේරීමක් තිබෙන බව ඔවුන් දැනගත යුතු බව දෙවියන්වහන්සේට අවශ්‍ය වූ සේක. මෝසෙස් මෙසේ පැවසීය, “මා විසින් ජීවනය හා මරණය ද . . . නුඹලා ඉදිරියෙහි තැබූ බවට ……. ජීවනය තෝරා ගෙන …” (ද්විතීය කථාව 30:19). ඔවුන්ට දෙවියන්වහන්සේගේ නීති අනුගමනය කර හොඳින් ජීවත් විය හැකිය, නැතහොත් ඔවුන්ට උන්වහන්සේගෙන් ඉවත් වී “මරණය හා විපතද” යන ප්‍රතිවිපාක සමඟ ජීවත් විය හැකිය (15 පදය).

අපද ජීවත් විය යුතු ආකාරය තෝරා ගත යුතු වන්නේය. අපගේ ජීවිත සඳහා දෙවියන්වහන්සේගේ පොරොන්දු විශ්වාස කිරීමෙන් හා එම පොරොන්දු මත රැඳීමෙන් අපට ප්‍රීතිය තෝරාගත හැක. එසේත් නැතිනම් අපගේ ප්‍රීතිය සොරා කෑමට ඉඩ දෙමින් අපගේ ගමනේ ඍණාත්මක හා දුෂ්කර කොටස් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. එය සඳහා පුහුණුවීම් අවශ්‍ය වන අතර උපකාරය සඳහා ශුද්ධාත්මයාණන් මත රඳා සිටීම, අවශ්‍ය වනු ඇත, “දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, සියලුදේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි” දන්නා හෙයින්, අපට ප්‍රීතිය තෝරා ගත හැකිය (රෝම 8:28).