“මගේ පුතා ඔබව හඳුනනවාද?” යන ප්‍රබල ලිපියේ ක්‍රීඩා රචක ජොනතන් ට්ජාර්ක්ස් මාරාන්තික පිළිකාව සමඟ ඔහුගේ සටන ගැන සහ අන් අය තම බිරිඳ සහ කුඩා පුතා හොඳින් රැකබලා ගැනීම ගැන වූ ඔහුගේ ආශාව ගැන ලිවීය. තිස් හතර හැවිරිදි ඔහු මෙම කෘතිය ලියා ඇත්තේ ඔහුගේ මරණයට මාස හයකට පෙරය. යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙකු වූ ට්ජාර්ක්ස්ගේ පියා ඔහු තරුණ වියේදී මිය ගිය අතර, වැන්දඹුවන් සහ අනාථ දරුවන් රැකබලා ගැනීම ගැන කතා කරන ශුද්ධ ලියවිලි බෙදා ගත්තේය (නික්මයාම 22:22; යෙසායා 1:17; යාකොබ් 1:27). ඔහුගේ මිතුරන්ට යොමු කළ වචන වලින් ඔහු මෙසේ ලිවීය, “මම ඔබව ස්වර්ගයේදී දකින විට, මම ඔබගෙන් අසන්නේ එක දෙයයි – ඒ ඔබ මගේ පුතාට සහ මගේ බිරිඳට යහපත් වුණාද? . . . මගේ පුතා ඔබව හඳුනනවාද? යන්නයි”.

දාවිත් රජ කල්පනා කළේ “සාවුල්ගේ වංශයෙන් යමෙක් තව ඉතුරුව සිටිනවාද? සිටිනවානම් මම යොනාතාන් නිසා ඔහුට කරුණාව පෙන්වන්නෙමියි” යනුවෙනි (2 සාමුවෙල් 9:1). හදිසි අනතුරක් හේතුවෙන් “දෙපා කොර වූ” (3 පදය සහ 4:4 බලන්න) යොනාතාන්ගේ පුත්‍රයෙක් වන මෙපිබොෂෙත් රජු වෙත ගෙන එන ලදී. දාවිත් රජු ඔහුට කතා කොට, “සැබෑවටම නුඹේ පියවූ යොනාතාන් නිසා මම නුඹට කරුණාව පෙන්වා නුඹේ පියවූ සාවුල්ගේ සියලු ගම්බිම් නුඹට නැවත දෙන්නෙමි; නුඹ වනාහි මාගේ මේසයේ නිතර කෑම කන්නෙහියයි ඔහුට කීය” (9:7). දාවිත් රජු මෙපිබොෂෙත්ට ප්‍රේමණීය සැලකිල්ලක් දැක්වූ අතර, කාලයාගේ ඇවෑමෙන් රජු ඔහුව සැබවින්ම දැන හඳුනා ගත්තේය (19:24-30 බලන්න).

යේසුස්වහන්සේ අපට ප්‍රේම කරන්නා සේම අන් අයටද ප්‍රේම කිරීමට අපව කැඳවා ඇත (යොහන් 13:34). උන්වහන්සේ අප තුළත් සහ අප තුළින් ක්‍රියා කරන විට, අපි සැබවින්ම ඔවුන් හොඳින් දැන හඳුනා ගෙන ඔවුන්ට ප්‍රේම කරමු.