මගේ නැන්දම්මාගේ උපන්දිනය සඳහා සුදුසු තෑග්ගක් සොයා ගැනීම ගැන මම බොහෝ සෙයින් සතුටු වීමි: වළල්ලේ ඇගේ උපන් මාසයට සරිලන ගල පවා තිබුණි! යමෙකු සඳහා එම පරිපූර්ණ තෑග්ග සොයා ගැනීම සැමවිටම සතුටට කරුණකි. නමුත් පුද්ගලයෙක්ට අවශ්‍ය ත්‍යාගය අපගේ ශක්තියෙන් ඔබ්බට ගියහොත් අපට කුමක් වේද? අපි කැමති කෙනෙකුට මනසේ සාමය, විවේකය හෝ ඉවසීම ලබා දිය හැකි නම් අපෙන් බොහෝ දෙනෙක් කැමති වන්නේය. ඒවා මිලදී ගත හැකි නම්, එය ඔතා, අලංකාර පටියකින් ලස්සන ‘බෝ එකක්‘ ගැට ගැසීමට පුළුවන් නම්!

මේ ආකාරයේ තෑගි එක් පුද්ගලයෙකුට තවත් කෙනෙකුට ලබා දීම අපහසු වන්නේය. නමුත් යේසුස් වහන්සේ “මිනිස් මාංසයේ සිටින දෙවියන්වහන්සේ“උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අයට එවැනි “ලබා දිය නොහැකි” තෑග්ගක් ලබා දෙන සේක: එනම්, සමාදානයේ තෑග්ගයි. ස්වර්ගස්ථ වීමට සහ ගෝලයන් හැර යාමට පෙර, යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්ගේ පොරොන්දුවෙන් ඔවුන්ව සැනසූ සේක: උන්වහන්සේ (එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ) “නුඹලාට සියල්ල උගන්වමින්, මා විසින් නුඹලාට කියන ලද සියල්ල නුඹලාට සිහි කරවන සේක” (යොහන් 14:26). ඔවුන්ගේ හදවත් කැළඹුණු විටදී හෝ ඔවුන් බිය අත්විඳින විටදී හෝ කල් පවතින, නොවරදින තෑග්ගක් ලෙස උන්වහන්සේ ගෝලයන්ට සමාදානය – උන්වහන්සේගේ සමාදානය – ඉදිරිපත් කළ සේක. දෙවියන්වහන්සේ සමඟත්, අන් අය සමඟත් සහ අපගේ අභ්‍යන්තරය තුළත් සමාදානය උන්වහන්සේ පමණයි.

අපගේ ආදරණීයයන්ට ඔවුන් අපේක්ෂා කරන අමතර ඉවසීම හෝ වැඩිදියුණු කළ සෞඛ්‍යය ලබා දීමට අපට හැකියාවක් නොමැති විය හැකිය. ජීවිතයේ අරගලයන් හමුවේ අපට දරා ගැනීමට අවශ්‍ය සමාදානය ඔවුන්ට ලබා දීමට අප තුළ බලයක් නොමැති විය හැකිය. නමුත් සත්‍යය සහ කල්පවත්නා සමාදානය ප්‍රදානය කරන්නා සහ මූර්තිය වන යේසුස් වහන්සේ ගැන ඔවුන්ට කතා කිරීමට ආත්මයාණන් විසින් අපට මඟ පෙන්වන සේක.