දේවගැති වරයා, ඔහුගේ දේශනාව දෙස නෙත් යොමා බැලුවේ තමන්ට වචන පෙනෙන පරිදි එම පිටු තමන්ගේ මුහුණට ළං කර ගනිමින්ය. ඔහු බොහෝ සෙයින් දුර නොපෙනෙන අයෙකු වූ හෙයින් ප්‍රවේසමෙන් තෝරාගත් සෑම වාක්‍ය ඛණ්ඩයක්ම ඒකාකාරී ස්වරයකින් කියෙව්වේය. නමුත් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වහන්සේට ජොනතන් එඞ්වර්ඞ්ස්ගේ දේශනා කිරීම හරහා ප්‍රථම මහා පිබිදීමේ පුනර්ජීවන ගිනි දැල්වීමට සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලට දහස් ගණනක් ගෙන ඒමට හැකි විය.

දෙවියන්වහන්සේ බොහෝ විට තමන් වහන්සේගේ පරිපූර්ණ අරමුණු ඉටු කර ගැනීමට අනපේක්ෂිත දේවල් භාවිතා කරන සේක. කුරුසියේදී අප වෙනුවෙන් යේසුස්වහන්සේගේ ප්‍රේමණීය මරණය තුළින් නොමඟ ගිය මනුෂ්‍යත්වය දෙවියන්වහන්සේ වෙතට ළං කිරීමට උන්වහන්සේගේ සැළැස්ම ගැන ලියමින් අපෝස්තුළු පාවුල් මෙසේ නිගමනය කරයි, “නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත් සේක. දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත් සේක” (1 කොරින්ති 1:27). ලෝකයා බලාපොරොත්තු වූයේ දිව්‍ය ප්‍රඥාව අපේම ප්‍රඥාව මෙන් පෙනෙනු ඇතැයි සහ නොවැළැක්විය හැකි බලයකින් පැමිණෙනු ඇතැයි කියාය. ඒ වෙනුවට, යේසුස්වහන්සේ නිහතමානීව හා මෘදු ලෙස අපගේ පාපවලින් අපව ගළවා ගැනීමට පැමිණියේ “දෙවියන්වහන්සේගෙන් අපට ප්‍රඥාව එනම් ධර්මිෂ්ඨකමද ශුද්ධකමද මිදීමද” වන පිණිසය (30 පදය).

සදාකාලික හා සර්ව ප්‍රඥාවන්ත දෙවියන්වහන්සේ වැඩිහිටියෙකු බවට පත්වීමෙන් පසු දුක් විඳ මිය ගොස් ජීවිතයට නැඟිටුවනු ලබන්නාවූ මිනිස් ළදරුවෙකු මෙන් මෙලොවට බිහිවූයේ උන්වහන්සේ වෙතට යන මාර්ගය අපට ප්‍රේමයෙන් පෙන්වීම සඳහාය. අපගේම ශක්තියෙන් අපට කිසිදා අත්කර ගත නොහැකි වූ විශිෂ්ට දේ ඉටු කිරීමට නිහතමානී මාර්ග සහ මිනිසුන් භාවිතා කිරීමට උන්වහන්සේ ප්‍රිය කරන සේක. අප කැමති නම්, උන්වහන්සේට අපව පවා භාවිතා කළ හැක්කේය.