කිසොම්බෝ ඔහුගේ ජීවිතයේ විශාල ප්‍රශ්න ගැන කල්පනා කරමින්, ගිනිමැල දෙස බලා සිටියේය. මා ඉටු කර ඇත්තේ කුමක්ද? යැයි ඔහු සිතුවේය. ඉතා ඉක්මනින් පිළිතුර පැමිණියේය: ඇත්තෙන්ම, ගොඩාක් දේවල් නොවේ. ඔහු නැවතත් ඔහු උපන් දේශයට පැමිණ, වැසි වනාන්තරයේ අභ්‍යන්තරයේ ඔහුගේ පියා ආරම්භ කළ පාසලේ සේවය කළේය. සිවිල් යුද්ධ දෙකකින් මරණයෙන් බේරී තම ජීවිතය ගලවා ගත් තම පියාගේ බලවත් කතාව ලිවීමට ද ඔහු උත්සාහ කළේය. මේ සියල්ල කිරීමට උත්සාහ කරන්න මා කවුද?

කිසොම්බෝගේ සැකයන් මෝසෙස්ගේ මෙන් ඇසෙයි. දෙවියන්වහන්සේ මෝසෙස්ට මෙහෙවරක් ලබා දී තිබුණි: “නුඹ මාගේ සෙනඟ වූ ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් පිටතට ගෙනෙන පිණිස මම ඵාරාවෝ වෙතට නුඹ යවන්නෙමි” යි කී සේක (නික්මයාම 3:10). මෝසෙස් පිළිතුරු දෙමින්, “මම කවුද?” යැයි ඇසීය (11 පදය).

මෝසෙස්ගේ දුර්වල නිදහසට කරුණු කීපයකට පසු, දෙවියන්වහන්සේ ඔහුගෙන්: “නුඹේ අතේ තිබෙන්නේ මොකක්ද” යැයි ඇසූ සේක. “සැරයටියක්” යැයි මෝසෙස් පිළිතුරු දුන්නේය (4:2). දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව මෝසෙස් එය බිම හෙළුවේය. සැරයටිය සර්පයෙකු බවට පත් විය. ඔහුගේ සහජ බුද්ධියට එරෙහිව, මෝසෙස් එය දෑතට ගත්තේය. නැවතත්, එය සැරයටියක් බවට පත් විය (4 පදය). දෙවියන්වහන්සේගේ බලය තුළ මෝසෙස්ට ඵාරාවෝට මුහුණ දීමට හැකි විය. ඊජිප්තුවේ “දෙවියන්ගෙන්” එක් දෙවියෙකු වන සර්පයෙක් ඔහුගේ දෑතේ සිටියේය. ඊජිප්තුවේ දෙවිවරුන් එකම සැබෑ දෙවියන්වහන්සේට තර්ජනයක් නොවීය.

කිසොම්බෝ මෝසෙස් ගැන සිතූ අතර, දෙවියන්වහන්සේගේ පිළිතුර ඔහුට දැනුණි: ඔබට මා සහ මාගේ වචනය ඇත. තම පියාගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ බලය අන් අය දැන ගන්නා පිණිස පියාගේ කතාව ලිවීමට ඔහුව දිරිමත් කළ මිතුරන් ගැනද ඔහු සිතුවේය. ඔහු තනිව සිටියේ නැත.

අප තුළ, අපගේ උපරිම උත්සාහයන් ප්‍රමාණවත් නොවේ. නමුත් අප සේවය කරන්නේ “මම ඔබ සමඟ සිටිමි” (3:12) කියා පවසන දෙවියන්වහන්සේටය.