කීර්තිමත් මැහුම් ශිල්පිනියන්ගේ ශාලාව ගැන ඔබ කවදා හෝ අසා තිබේද? 2001 දී පිහිටුවන ලද, එය “මැහුම් අධ්‍යාපනය සහ නිෂ්පාදන සංවර්ධනය තුළින් අද්විතීය හා නව්‍ය දායකත්වයක් ලබා දෙමින් ගෘහ මැහුම් කර්මාන්තයට කල්පවත්නා බලපෑමක් ඇති කළ” පුද්ගලයින් හඳුනා ගන්නේය. එයට 2005 දී ශාලාවට ඇතුළත් කරන ලද මාර්තා පුල්ලන් වැනි පුද්ගලයින්ද ඇතුළත් වේ, ඇයව විස්තර කරන්නේ “හිතෝපදේශ 31 කාන්තාවක් හැටියටයි . . . ඇයගේ ශක්තිය, ප්‍රබෝධය සහ ආශිර්වාදයේ මූලාශ්‍ර ප්‍රසිද්ධියේ පිළිගැනීමට කිසිවිටෙක ඇය ප්‍රතික්‍ෂේප නොකළාය”.

කීර්තිමත් මැහුම් ශිල්පිනියන්ගේ ශාලාව විසිඑක්වන සියවසේ සොයාගැනීමකි, නමුත් එය ඊශ්‍රායලයේ පළමු ශතවර්ෂයේ පමණ වූයේ නම්, තබීතා නම් කාන්තාවක් ද එයට ඇතුළත් වන්නට ඇත. තබීතා, යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තියක්වූ අතර ඇගේ ප්‍රජාවේ දුප්පත් වැන්දඹුවන් සඳහා ඇඳුම් මැසීමට කාලය ගත කළ මැහුම් ශිල්පිනියක් වූවාය (ක්‍රියා 9:36, 39). ඇය අසනීප වී මිය ගිය පසු, දෙවියන්වහන්සේ අපෝස්තුළු පේත්‍රැස් තුළින් ප්‍රාතිහාර්යක් කරයිදැයි බැලීමට ගෝලයන් පේත්‍රැස්ව ගෙන්වා ගත්තෝය. ඔහු පැමිණි විට, වැළපෙන වැන්දඹුවන් ඔහුට තබීතා විසින් සාදන ලද සළු සහ වෙනත් ඇඳුම් පෙන්වූහ (39 පදය). මෙම ඇඳුම් ඇගේ නගරයේ දුප්පතුන්ට ඇය “බොහෝ යහපත් ක්‍රියා කරන” බවට සාක්ෂි විය (36 පදය). දෙවියන්වහන්සේගේ බලයෙන් තබීතා නැවත ජීවනයට පත් වුවාය.

අපගේ ප්‍රජාවේ සහ ලෝකයේ පවතින අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ කුසලතා භාවිතා කිරීමට දෙවියන්වහන්සේ අපව කැඳවා සන්නද්ධ කරන සේක. අපි, අපගේ කුසලතා යේසුස්වහන්සේගේ සේවයට මුදාහැර, අපගේ ප්‍රේමයේ ක්‍රියාවන් මගින් හදවත් සහ ජීවිත එකට මැසීමට උන්වහන්සේ මෙම කුසලතා භාවිතා කරන්නේ කෙසේදැයි බලමු.(එපීස 4:16).