මගේ පියා එළිමහනේ දෙවියන්වහන්සේගේ මැවිල්ලේ කාලය ගත කිරීමට, මසුන් ඇල්ලීමට සහ පාෂාණ සෙවීමට ප්‍රිය කළේය. ඔහු තම මිදුලේ සහ වත්තේ වැඩ කිරීමටද කැමති විය. නමුත් එය බොහෝ වැඩ කිරීමට සිදු විය! ඔහු කප්පාදු කිරීම, පොළොව කෙටීම, බීජ හෝ මල් සිටුවීම, වල් පැලෑටි උදුලු ගෑම, තණකොළ කැපීම සහ මිදුලට සහ වත්තට වතුර දැමීමට පැය ගණනක් ගත කළේය. එහි ප්‍රතිඵලය ඉතා වටිනා එකක් විය – භූමි අලංකරණ තණකොළ යාය, රසවත් තක්කාලි සහ ලස්සන සාම රෝස මල්. සෑම වසරකම ඔහු රෝස මල් බිමට සමීපව කප්පාදු කළ අතර, සෑම වසරකම ඒවා නැවත වර්ධනය විය – ඒවායේ සුවඳින් සහ අලංකාරයෙන් පංචේන්ද්‍රියන් පිරුණි.

උත්පත්ති පොතේ, ආදම් සහ ඒව ජීවත් වූ, සමෘද්ධිමත් වූ සහ දෙවියන්වහන්සේ සමඟ ඇවිද ගිය ඒදන් උයන ගැන අපි කියවන්නෙමු. එහිදී, දෙවියන්වහන්සේ “දැකීමට ප්‍රියවූ කෑමට හොඳ වූ සියලු ගස්ද ……. ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හට ගැන්වූ සේක” (උත්පත්ති 2:9). මම සිතන්නේ එම පරිපූර්ණ උද්‍යානයට ලස්සන, මිහිරි සුවඳ මල්-සමහරවිට කටු රහිත රෝස මල් පවා තිබෙන්නට ඇති කියාය!

ආදම් සහ ඒව දෙවියන්වහන්සේට එරෙහිව කැරළි ගැසීමෙන් පසු, ඔවුන් උයනෙන් නෙරපා හරින ලද අතර, ඔවුන්ගේම උද්‍යාන සිටුවීමට හා රැකබලා ගැනීමට අවශ්‍ය විය, එයින් අදහස් කළේ දුෂ්කර බිම් කෙටීම, කටු සමඟ සටන් කිරීම සහ වෙනත් අභියෝගයන් වලට මුහුණ දීමය (3:17-19, 23-24). එහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ට නොකඩවා සැපයූ සේක (21 පදය). තවද අපව උන්වහන්සේ වෙතට ඇද ගැනීමට මැවීමේ අලංකාරය නොමැතිව උන්වහන්සේ මනුෂ්‍යත්වය අත්හැරියේ නැත (රෝම 1:20). උද්‍යානයේ ඇති මල් දෙවියන්වහන්සේගේ අඛණ්ඩ ප්‍රේමය සහ අලුත් වීම පිළිබඳ පොරොන්දුව අපට මතක් කර දෙන අතර – ඒවා බලාපොරොත්තුවේ සහ සැනසිල්ලේ සංකේත වන්නේය!