තමන්ටම උදව් කරන අයට දෙවියන්වහන්සේ උදව් කරන්නේ නැත; උන්වහන්සේව විශ්වාස කරන සහ උන්වහන්සේ මත බලාපොරොත්තු තබන අයට උන්වහන්සේ උපකාර කරන සේක. ශුභාරංචි මත පදනම් වූ සාර්ථක රූපවාහිනී කතා මාලාවක් වන “ද චෝසන්” (තෝරා ගන්නා ලද) හි යේසුස්වහන්සේගේ චරිතය රඟ දක්වන නළු ජොනතන් රූමි 2018 මැයි මාසයේදී මෙය වටහා ගත්තේය. වසර අටක් තිස්සේ ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ජීවත් වූ රූමි අන්ත දිළිඳු කමට ආසන්නව සිටි අතර දවසට ප්‍රමාණවත් තරම් ආහාර තිබුණ නමුත් ඔහුට වැඩක් පේන තෙක් මානයක නොතිබුණි. තම ජීවිකාව ගෙන යන්නේ කෙසේදැයි නොදැන, මෙම නළුවා තම හදවත වගුරුවමින් තම වෘත්තිය මහෝත්තම දෙවිඳුන්ට භාර දුන්නේය. “මම සත්‍යයෙන්ම මෙම වචන වලින්ම, යාච්ඤා කළෙමි: “මම යටත් වන්නෙමි. මම යටත් වන්නෙමි. කියා කීවෙමි”. පසුව එදින, ඔහුට තැපෑලෙන් චෙක්පත් හතරක් ලැබුණු අතර මාස තුනකට පසු, ඔහුව, “ද චෝසන්” චිත්‍රපටියේ යේසුස්වහන්සේගේ චරිතය සඳහා තෝරා ගන්නා ලදී. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන අයට උන්වහන්සේ උපකාර කරන බව රූමි සොයා ගත්තේය.

“නපුර කරන්නන්” (ගීතාවලිය 37:1) ගැන ඊර්ෂ්‍යා කරමින් හෝ කෝප නොකරමින් ඒ වෙනුවට, ගීතිකාකරු අපට ආරාධනා කරන්නේ සියල්ල දෙවියන්වහන්සේට භාර දෙන ලෙසටයි. “ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම්” කරමින්, “ස්වාමීන්, කෙරෙහි ප්‍රීතිමත්” වෙමින් (3-4 පදය) අප අපගේ දෛනික ක්‍රියාකාරකම් උන්වහන්සේ මත කේන්ද්‍රගත කරන විට, සහ අපගේ සියලු ආශාවන්, ගැටලු, කරදර සහ අපගේ ජීවිතයේ දෛනික සිදුවීම් උන්වහන්සේට භාර දෙන විට, දෙවියන්වහන්සේ අපට මඟ පෙන්වන අතර අපට සමාදානය ලබා දෙන සේක (5-6 පද). යේසුස්වහන්සේව විශ්වාස කරන්නන් වශයෙන්, අපගේ ජීවිතය කුමක් විය යුතුද යන්න තීරණය කිරීමට උන්වහන්සේට ඉඩදීම අත්‍යවශ්‍ය වේ.

දෙවියන්වහන්සේට යටත් වී උන්වහන්සේ මත අපගේ විශ්වාස තබමු. අප එසේ කරන විටදී, උන්වහන්සේ අපට අවශ්‍ය සහ හොඳම දේ කිරීමට නිසි පියවර ගන්නා සේක.