ඔබේ ආහාර ගෙන ඒමට රියැදුරා ප්‍රමාද වූවාද? ඔහුට එක තරුවක ශ්‍රේණිගත කිරීමක් ලබා දීමට ඔබට ඔබගේ දුරකථනය භාවිතා කළ හැක. සාප්පුවේ කළමනාකාරිණිය ඔබට අගෞරවයෙන් කථා කළාද? ඔබට ඈ ගැන විවේචනාත්මක සමාලෝචනයක් ලිවිය හැකිය. ස්මාර්ට් ජංගම දුරකථන මගින් අපට සාප්පුවෙන් භාණ්ඩ ගැනීමට, මිතුරන් සමඟ සම්බන්ධය තැබීමට සහ තවත් බොහෝ දේ කළ හැකි අතරම, ඔවුන් අපට එකිනෙකා ප්‍රසිද්ධියේ ඇගයීමට බලයද ලබා දී ඇත. තවද මෙය ගැටළුවක් විය හැක.

නිවැරදි තත්ත්වයන් හෝ සාධක වලින් තොරව විනිශ්චයන් කළ හැකි බැවින් මේ ආකාරයෙන් එකිනෙකා ශ්‍රේණිගත කිරීම ගැටළු සහගතය. ඔහුගේ පාලනයෙන් තොර තත්ත්වයන් හේතුවෙන් ප්‍රමාද වූ නිසා රියදුරු දුර්වල ලෙස ඇගයීමට ලක් වේ. රෝගී දරුවෙකු සමඟ මුළු රාත්‍රිය පුරාම අවදිව සිටි සාප්පුවේ කළමනාකාරිණියට සෘණාත්මක සමාලෝචනයක් ලැබේ. අනිත් අයව මෙසේ අසාධාරණ ලෙස ශ්‍රේණිගත කිරීම අපි වළක්වා ගන්නේ කෙසේද?

එය කළ හැක්කේ දෙවියන්වහන්සේගේ චරිතය අනුකරණය කිරීමෙනි. නික්මයාම 34:6-7 හි, දෙවියන්වහන්සේ තමන්ව විස්තර කරන්නේ “අනුකම්පාවෙන් පුර්ණ වූ සහ දයාවන්ත වූ” ලෙසයි – එයින් අදහස් වන්නේ උන්වහන්සේ නිවැරදි සාධක නොමැතිව අපගේ අසාර්ථකත්වය විනිශ්චය නොකරන බවයි; “උදහස් වීමට ප්‍රමාද වන්නාවූ” – එයින් අදහස් වන්නේ උන්වහන්සේ එක් නරක අත්දැකීමකින් පසු ඍණාත්මක සමාලෝචනයක් පළ නොකරන බවයි; “අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ” – එයින් අදහස් වන්නේ උන්වහන්සේගේ නිවැරදි කිරීම් අපගේ යහපත සඳහා මිස පළිගැනීමට නොවන බවයි. එසේම, “පාපයත් ක්ෂමා කරන සේක” – එයින් අදහස් වන්නේ අපගේ ජීවිතය අපගේ එක්-තරු දින වලින් නිර්වචනය කළ යුතු නැති බවයි. දෙවියන්වහන්සේගේ චරිතය අපගේ පදනම විය යුතු බැවින් (මතෙව් 6:33), උන්වහන්සේ මෙන් අපිත් ක්‍රියාකරන විට ස්මාර්ට්ෆෝන් භාවිතා කිරීමෙන් සක්‍රීය වන අපගේ රළු බව වළක්වා ගැනීමට අපට හැකි වන්නේය.

මාර්ගගත් (ඔන්ලයින්) යුගයේ දී, අප සියලු දෙනාටම අන් අයව දැඩි ලෙස ඇගයීමට ලක් කළ හැකිය. අද දින මඳ අනුකම්පාවක් ගෙන ඒමට ශුද්ධාත්මයාණන් වහන්සේ අපව බල ගන්වන සේක්වා.