අපේ නිවාස සංකීර්ණය අසල පොකුණේ, කැනඩාවේ පාත්ත පවුල් කිහිපයක් උන්ගේ පැටවුන් සමඟ සිටිනවා දකින්නට පුළුවන. පාත්තයන්ගේ කුඩා පැටවුන් ලෝම් වලින් පිරුණු හා හුරුබුහුටි අය වූහ; මම ඇවිදින්න යන විට හෝ පොකුණ වටා දුවන විට හෝ උන් දෙස නොබලා සිටීම මට වැලැක්විය නොහැකිය. නමුත් මම උන්ගේ ඇස් හා මගේ ඇස් ගැටීමෙන් වැළකී සිටීමට ඉගෙන ගෙන ඇත – එසේ නොවුවහොත්, තර්ජනයක් යැයි සැක කරන ආරක්ෂිත මව, මා පසු පස හඹා එන්නට පුළුවනි!

තම පැටවුන් ආරක්ෂා කරන කිරිල්ලියකුගේ රූපය දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ දරුවන් කෙරෙහි දක්වන මුදු මොළොක්, ආරක්ෂිත ප්‍රේමය විස්තර කිරීමට ශුද්ධ ලියවිල්ල භාවිතා කරයි (ගීතාවලිය 91:4). ගීතාවලිය 61 හි, දාවිත් මේ ආකාරයෙන් දෙවියන්වහන්සේගේ රැකවරණය අත්විඳීමට අරගල කරන බව පෙන්නුම් කරයි. ඔහු, දෙවියන්වහන්සේව ඔහුගේ “රක්ෂාස්ථානයක් ද, බල කොටුවක් ද” ලෙස අත්දකින අතර (3 පදය), දැන් ඔහු “පොළොවේ කෙළවර සිට” මංමුලා සහගත ලෙස ඉල්ලා සිටියේ, “මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙන ගිය මැනව” කියාය (2 පදය). ඔහු නැවත වරක් ආසාවෙන් සිටියේ “ඔබගේ පියාපත් සෙවණ සරණකොට” ගැනීමටය (4 පදය).

ඔහුගේ වේදනාව සහ සුවය සඳහා ඇති ආශාව දෙවියන් වහන්සේ වෙත ගෙනෙන විටදී, දාවිත්ට උන්වහන්සේ ඇහුම්කන් දුන් බව දැන ගැනීමෙන් ඔහු සැනසීමක් ලැබුවේය (5 පදය). දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම නිසා, ඔහු “ඔබගේ නාමයට සදාකල් ප්‍රශංසා ගී කියන්නෙමි” යයි දැන සිටියේය (8 පදය).

ගීතිකාකරු මෙන්, දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් ඈත් වූ බවක් අපට හැඟෙන විට, අපගේ වේදනාවේ දී පවා, කුරුලු මවක් ඇගේ පැටවුන් ආරක්ෂා කරන්නාක් මෙන් උන්වහන්සේත් දැඩි ලෙස අපව ආරක්ෂා කරමින් සහ රැකබලා ගනිමින්, අප සමඟ සිටින බවට සහතික වීම සඳහා, අපට උන්වහන්සේගේ දෑත් වෙත ආපසු දිව යා හැකිය.