ෂර්මන් ස්මිත් නැමැත්තා විසින් ඇමෙරිකාවේ මියාමි විශ්ව විද්‍යාලයේ ඇමරිකානු පාපන්දු ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩා කිරීම සඳහා ඩෙලන්ඞ් මැකලෝ බඳවා ගැනීමෙන් පසුව, ඔහු ඩෙලන්ඞ්ට ආදරය කිරීමට පටන් ගත් අතර ඩෙලන්ඞ්ට කිසි දිනෙක නොසිටි පියෙකු බවටද පත්විය. ඩෙලන්ඞ්, ෂර්මන් කෙරෙහි ඉමහත් පැහැදීමක් ඇති කර ගත් අතර ෂර්මන් මෙන් වීමට ඉලක්ක කළේය. දශක ගණනාවකට පසු, ඩෙලන්ඞ් ඔහුට උපත දුන් මව සොයා ගිය විට, “ඔබේ පියාගේ නම ෂර්මන් ස්මිත්” යන පුවත සමඟ ඇය ඔහුව කම්පනයට පත් කළාය. ඔව්, ඒ ෂර්මන් ස්මිත්ය. ඔහුට පුතෙකු සිටින බව දැනගත් පුහුණුකරු ස්මිත් මවිතයට පත් වූ අතර, ඔහුගේ පියා ලෙස ෂර්මන් කෙරෙහි පැහැදීමක් ඇති කර ගෙන සිටි ඩෙලන්ඞ්ද, සත්‍යයෙන්ම තමාගේ පියා ෂර්මන් බව දැනගත් විට මවිතයට පත් විය!

පසු වතාවකදී ඔවුන් මුණගැසුණු අවස්ථාවේ ෂර්මන් ඩෙලන්ඞ්ව බදාගෙන “මගේ පුතා” යැයි කීවේය. කිසි දවසක ඩෙලන්ඞ් මෙවැනි ආචාර කිරීමක් පියෙකුගෙන් අසා නොතිබුණි. “මේ මගේ පුතා” කියා ෂර්මන් ඩෙලන්ඞ්ව ඇමතුවේ “මට ආඩම්බරයි” කියන තැන සිටිමින් ය, එසේම, ඔහු තුළින් ප්‍රබල හැඟීම් මතුවුණි.

අපගේ ස්වර්ගික පියාණන්ගේ පරිපූර්ණ ප්‍රේමයෙන් අප තුළත් ප්‍රබල හැඟීම් ඇති විය යුතුයි. යොහන් මෙසේ ලියයි, “අපි දෙවියන්වහන්සේගේ දරුවෝ යයි කියනු ලබන ලෙස පියාණන්වහන්සේ කෙබඳු ප්‍රේමයක් අපට දී වදාළ සේක්දැයි බලාපල්ලා” (1 යොහන් 3:1). ෂර්මන් වැනි කෙනෙකු ඔහුගේ පියා විය හැකි යැයි සිතීමට එඩිතර නොවූ ඩෙලන්ඞ් මෙන් අපි බියසුළු වී සිටිමු. එය සත්‍යයක්මද? යොහන් දැඩි ලෙස මෙසේ පවසයි, ඔව්, “අපි එබඳුවෝමය” කියාය (පදය 1).

ඔබ යේසුස්වහන්සේව විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේගේ පියා ඔබේ පියාද වන්නේය. ඔබට ලෝකයේ තනිව අනාථ වූ බවක් දැනෙන්නට පුළුවන. නමුත් සත්‍යය නම් ඔබට පියෙකු සිටියි : ඒ එකම පරිපූර්ණ තැනැන්වහන්සේය. එසේම ඔබව උන්වහන්සේගේ දරුවා ලෙස හඳුන්වා දීමට උන්වහන්සේ ආඩම්බර වන සේක.