මා ළමා වියේ, ඇමෙරිකාවේ ටෙනසි ප්‍රාන්තයෙහි ගොවිපළක ජීවත් වී සිටිය කාලයේ, මම මගේ හොඳම මිතුරා සමඟ සැරිසරමින් තේජාන්විතව සවස් කාලය ගත කළෙමි. අපි වනාන්තරය තුළට ඇවිදමින්, පෝනියන් පදිමින්, ගවයන් ගාල් කරන පිටියට පිවිසෙමින් ගොපල්ලන් අශ්වයන් සමඟ වැඩ කරන ආකාරය නැරඹීමට යන්නෙමු. නමුත් මගේ පියාගේ කුඩා නලාවේ හඬ – එනම්, සුළඟ සහ අනෙකුත් සියලුම ඝෝෂා කිරීම් හරහා ගමන් කරන මෙම ඉතා පැහැදිලි ශබ්දය ඇසුණු විට – මම කරන ඕනෑම දෙයක් වහාම අතහැර දමා නිවස බලා කඩිනමින් දුවන්නෙමි. සංඥාව නොවරදින එකක් වූ අතර, මා කැඳවන්නේ මගේ පියා බව මම දැන සිටියෙමි. දශක ගණනාවකට පසුව, මම තවමත් එම නලාවේ හඬ හඳුනමි.

යේසුස්වහන්සේ තම ගෝලයන්ට පැවසුවේ තමා එඬේරා බවත් උන්වහන්සේගේ අනුගාමිකයන් බැටළුවන් බවත්ය. “බැටළුවෝ ඔහුගේ හඬ අසති. ඔහු තමාගේම බැටළුවන්ගේ නම් කියා අඬ ගසා උන් පිටතට ගෙන යයි” කියා උන්වහන්සේ පැවසු සේක (යොහන් 10:3). බොහෝ නායකයන් සහ ගුරුවරුන් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන්ට ඔවුන්ගේ අධිකාරය ප්‍රකාශ කරමින් ව්‍යාකූල කිරීමට උත්සාහ කළ කාලයක, උන්වහන්සේගේ ප්‍රේමණීය කටහඬ තවමත් පැහැදිලිව, අන් සියල්ලන්ට වඩා පැහැදිලිව ඇසෙන බව උන්වහන්සේ ප්‍රකාශ කළ සේක. “බැටළුවෝ ද ඔහුගේ (එඬේරාගේ) හඬ අඳුනන බැවින් ඔහු පස්සේ යති” (4 පදය).

අපි යේසුස්වහන්සේගේ කටහඬට සවන් දෙන විටදී, මූලික සත්‍යය එහි රැඳී පවතින හෙයින් එය අඥානවන්ත ලෙස බැහැර කිරීමෙන් වැළකී සිටිමු, එඬේරා පැහැදිලිව කථා කරන අතර, උන්වහන්සේගේ බැටළුවන්ට උන්වහන්සේගේ හඬ ඇසේ. ශුද්ධ ලියවිල්ලේ පදයක් හරහා හෝ ඇදහිලිවන්ත මිතුරෙකුගේ වචන තුළින් හෝ ආත්මයාණන් අපට දෙන සුළු සංඥාවක් තුළින් හෝ යේසුස්වහන්සේ කතා කරන අතර, අපට ඒ හඬ ඇසෙයි.