ප්‍රමාද වැඩියි! ටොම්ට ඔහුගේ සටන් සපත්තු වලට යටින් බය උපදවන “සියුම් ශබ්දයක්” දැනුණි. සහජයෙන්ම, ඔහු ක්ෂණයකින්ම පැන්නේය. පොළව යට සඟවා තිබූ මාරාන්තික උපකරණය පුපුරා ගියේ නැත. පසුව පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කණ්ඩායම විසින් එම ස්ථානයේ තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රාත්තල් අසූවක් සොයා ගන්නා ලදී. පළඳින්න බැරි තත්වයකට පැමිණෙන තුරු ටොම් එම බූට් සපත්තු පැළඳ සිටියේය. “මගේ වාසනාවන්ත බූට් සපත්තු” යැයි ඔහු පවසයි.
ටොම් එම බූට් සපත්තු තබාගෙන සිටියේ ඔහුව ජීවිත අනතුරින් ගැළවීම ගැන සිහි කිරීමටය. නමුත් මිනිසුන් බොහෝ විට වස්තූන් “වාසනාවන්ත” ලෙස සැලකීමට හෝ ඒවාට “ආශීර්වාදලත්” යන වඩාත් ආත්මික ලේබලය දීමට පවා පෙළඹේ. දෙවියන්වහන්සේගේ ආශිර්වාදයේ මූලාශ්‍රයක් ලෙස අපි වස්තුවක් – සංකේතයක් ඕනෑවට වඩා වර්ණනා කිරීමෙන් අනතුරු අප වෙතට පැමිණීමට දොරටුව විවෘත කරයි.
ඊශ්‍රායෙල්වරුන් මෙය ගැන ඉගෙනගත්තේ දුෂ්කර මාර්ගයෙනි. පිලිස්තිවරුන්ගේ හමුදාව ඔවුන්ව මෙම අවස්ථාවේදී යුද්ධයෙන් පරාජය කර තිබුණි. ඊශ්‍රායෙල් විනාශය සමාලෝචනය කරන විට, යමෙකු “ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය” රැගෙන පිලිස්තිවරුන්ට එරෙහිව නැවත යුද්ධ කිරීමට සිතුවේය (1 සාමුවෙල් 4: 3). මෙය හොඳ අදහසක් ලෙස පෙනුණි (6-9 පද). හේතුව, ගිවිසුම් පෙට්ටිය ශුද්ධ වස්තුවක් බැවිනි.
නමුත් ඊශ්‍රායෙල්වරුන්ට තිබුණේ වැරදි ආකල්පයකි. ඔවුන්ට ජයග්‍රහණය ගෙන ඒමට ගිවිසුම් පෙට්ටියට තනිවම නොහැකි විය. එකම සැබෑවූ දෙවියන්වහන්සේ කෙරෙහි නොව වස්තුවක් කෙරෙහි විශ්වාසය තැබීමෙන් ඊශ්‍රායෙල්වරු ඊටත් වඩා දරුණු පරාජයකට මුහුණ දුන් අතර සතුරා ගිවිසුම් පෙට්ටිය පැහැර ගත්හ (10-11 පද).
දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන යාච්ඤා කිරීමට හෝ ස්තුති කිරීමට අපට මතක් කර දෙන සිහිවටන යහපත්ය. නමුත් ඒවා හෝ ඔවුන් කිසිවිටෙක ආශීර්වාදයේ උල්පත නොවේ. ඒවා දෙවියන්වහන්සේගෙන් සහ උන්වහන්සේගෙන් පමණි.