කාර්යයාල ගොඩනැගිල්ලේ තරප්පුවේදී මට කරකැවිල්ලක් හැදුණි. තරප්පුව කැරකෙන ලෙස පෙනුණ නිසා කලබල වී මා පඩිපෙළේ අත් වැටය අල්ලා ගත්තෙමි. මගේ හෘදය වේගයෙන් ගැහෙන්නට පටන් ගත් අතර මගේ කකුල් පැටලෙන්නට විය, මම පඩිපෙළේ අත් වැටය මත එල්ලී සිටියේ එහි ශක්තිය ගැන ස්තූතිවන්ත වෙමිනි. වෛද්‍ය පරීක්ෂණවලින් මට රක්තහීනතාවය ඇති බව පෙන්නුම් කළේය. එයට හේතුව බරපතල නොවූවත්, මගේ තත්ත්වය නිරාකරණය වූවත්, එදා මට දැනුණු දුර්වලකම මට කිසිදා අමතක නොවන්නේය.

යේසුස්වහන්සේව ස්පර්ශ කළ කාන්තාව මා අගය කරන්නේ එම නිසාමයි. ඇය ඇගේ දුර්වල තත්ත්වය තුළ සමූහයා මැදින් ගමන් කළා පමණක් නොව, උන්වහන්සේ වෙත ළඟා වීමට උත්සාහ කිරීමෙන් ඇය ඇදහිල්ල පෙන්වූවාය (මතෙව් 9:20-22). ඇයට බිය වීමට හේතුන් තිබුණි: යුදෙව් නීතිය ඇය අපවිත්‍ර ලෙස නිර්වචනය කර ඇති අතර ඇගේ අපිරිසිදුකම අන් අයට නිරාවරණය කිරීමෙන් ඇයට බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට තිබුණි (ලෙවී කතාව 15:25-27). නමුත් මම උන්වහන්සේගේ සළුව ස්පර්ශ කළහොත් පමණක් යන සිතුවිල්ල ඇයව ඉදිරියට ගෙන ගියාය. මතෙව් 9:21 හි “ස්පර්ශය” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක වචනය හුදු ස්පර්ශ කිරීමක් නොව “අල්ලගෙන සිටීම” හෝ “තමන්ව සම්බන්ධ කර ගැනීම” යන ප්‍රබල අර්ථය ගෙන දෙන්නේය. එම කාන්තාව යේසුස්වහන්සේව තදින් අල්ලාගත්තාය. උන්වහන්සේට ඇයව සුව කළ හැකි බව ඇය විශ්වාස කළාය.

සමූහයා මැද එක් ස්ත්‍රියකගේ ස්ථීර ඇදහිල්ල යේසුස්වහන්සේ දුටු සේක. අපද ඇදහිල්ලෙන් පිටතට ගොස් අපගේ අවශ්‍යතා තුළ ක්‍රිස්තුස් වහන්සේට ඇලී සිටින විට, උන්වහන්සේ අපව පිළිගෙන අපගේ උපකාරයට පැමිණෙන සේක. ප්‍රතික්ෂේප කිරීමට හෝ දඬුවමට හෝ බිය නොවී අපට අපගේ කතාව උන්වහන්සේට පැවසිය හැකිය. යේසුස්වහන්සේ අද දින අපට පවසන්නේ “මට වෙළී සිටින්න” කියායි.