මෑතකදී වැන්දඹු කාන්තාවක් කනස්සල්ලට පත් විය. රක්ෂණ ඔප්පුවකින් අත්‍යවශ්‍ය අරමුදල් කිහිපයක් එකතු කර ගැනීම සඳහා, ඇගේ සැමියාගේ ජීවිතය නැති කළ අනතුර පිළිබඳ ප්‍රධාන තොරතුරු ඇයට අවශ්‍ය විය. ඇයට උදව් කරන බව පැවසූ පොලිස් නිලධාරියෙකු සමඟ ඇය කතා කළ නමුත් පසුව ඇයගේ ව්‍යාපාරික කාඞ්පත නැති වුනි. ඒ නිසා ඇය දෙවියන්වහන්සේගෙන් උදව් ඉල්ලමින් යාච්ඤා කළාය. ටික වේලාවකට පසු, ඇය ඇගේ දේවස්ථානයේ ජනේලයක් අසළින් ඇවිදගෙන යන විට, එය මත කාඞ්පතක් – එනම්, පොලිස් නිලධාරියාගේ කාඞ්පත – දුටුවාය. එය එතැනට පැමිණියේ කෙසේදැයි ඇයට අදහසක් නොතිබුණද, ඒ මන්දැයි ඇය දැන සිටියාය.

ඇය යාච්ඤාව බැරෑරුම් ලෙස සැලකුවාය. එසේ නොකර සිටින්නේ කෙසේද? ශුද්ධ ලියවිල්ල පවසන්නේ දෙවියන්වහන්සේ අපගේ ඉල්ලීම්වලට සවන් දෙන බවයි. “මක්නිසාද ස්වාමීන් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව්ව දෙසටත් යොමා තිබේ” යැයි (1 පේත්‍රැස් 3:12) පේත්‍රැස් ලිවීය.

දෙවියන්වහන්සේ යාච්ඤාවට ප්‍රතිචාරය දැක්වූ ආකාරය පිළිබඳ උදාහරණ බයිබලය අපට සපයයි. ඉන් එකක් නම් අසනීප වූ යුදාහි රජු ගැනය. ඔහු මිය යන බව අනාගතවක්තෘවරයෙකු වූ යෙසායාගෙන් පවා ඔහුට ආරංචි විය. කළ යුතු දේ රජු දැන සිටියේය: ඔහු “ස්වාමින් වහන්සේට යාච්ඤා කළේය” (2 රාජාවලිය 20:2). වහා දෙවියන් වහන්සේ යෙසායාට කීවේ රජුට මෙම පණිවිඩය ලබා දෙන ලෙසයි: “මම නුඹේ යාච්ඤාව ඇසිමි” (5 පදය). හෙසකියාට තවත් අවුරුදු පහළොවක ආයු කාලයක් හිමි විය.

දෙවියන්වහන්සේ සෑම විටම ජනෙල් මත කාඞ්පතක් වැනි දේ සමඟ යාච්ඤාවලට පිළිතුරු නොදෙන සේක, නමුත් දුෂ්කර තත්ත්වයන් පැන නගින විට, අපි ඒවාට තනිවම මුහුණ නොදෙන බව උන්වහන්සේ අපට සහතික කරන සේක. දෙවියන්වහන්සේ අපව දකින අතර අපගේ යාච්ඤාවලට අවධානය යොමු කරමින් උන්වහන්සේ අප සමඟ සිටින සේක.