“ක්‍රිස්තියානි ධර්මය මට නොවේ. එය නීරසයි. මා අල්ලාගෙන සිටින එක් වටිනාකමක් වන්නේ වික්‍රමයන්ය. එය මට ජීවිතයයි,” කියා තරුණ කාන්තාවක් මට පැවසුවාය. යේසුස්වහන්සේ අනුගමනය කිරීමත් සමඟ ඇති වන ඇදහිය නොහැකි ප්‍රීතිය සහ ප්‍රබෝධය ඇය තවමත් ඉගෙන ගෙන නොතිබීම මට කනගාටුවක් විය – එය අන් කිසිවකට වඩා වික්‍රමාන්විත දෙයකි. මම ඇය සමඟ යේසුස්වහන්සේ ගැනත් උන්වහන්සේ තුළ සැබෑ ජීවිතය සොයා ගන්නා ආකාරය ගැනත් සතුටින් බෙදා ගත්තෙමි.
දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන යේසුස්වහන්සේව දැනගෙන උන්වහන්සේ සමඟ ගමන් කිරීමේ වික්‍රමය විස්තර කිරීමට හුදු වචන ප්‍රමාණවත් නොවේ. නමුත් එපීස 1 හි, අපෝස්තලු පාවුල් අපට යේසු සමිඳුන් සමඟ ජීවිතය පිළිබඳ කුඩා නමුත් බලවත් දර්ශනයක් ලබා දෙයි. දෙවියන්වහන්සේ අපට සෘජුවම ස්වර්ගයෙන් ආත්මික ආශීර්වාදයන්ද (3 පදය), දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ ශුද්ධකම සහ නිර්දෝෂීභාවයද (4 පදය), සහ රජුගේ රාජකීය පවුලට උන්වහන්සේගේම පුත්‍රයන් ලෙස හදා ගැනීමද (5 පදය) ලබා දෙන සේක. උන්වහන්සේගේ සමාව දීම සහ කරුණාවද (7-8 පද), උන්වහන්සේගේ කැමැත්තේ අභිරහස් ගැන අවබෝධයද (9 පදය), සහ
“උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා” ජීවත්වීමේ නව අරමුණක්ද (12 පදය) යන අතිවිශිෂ්ට ත්‍යාගයන්ගෙන් උන්වහන්සේ අපට ආශීර්වාද කරන සේක. ශුද්ධාත්මයාණන් වහන්සේ අපව බලගැන්වීම සහ මෙහෙයවීම සඳහා අප තුළ ජීවත් වීමට පැමිණෙන සේක (13 පදය), එසේම, දෙවියන්වහන්සේගේ අභිමුඛයේ සදාකාලිකත්වය උන්වහන්සේ සහතික කරන සේක (14 පදය).

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අපගේ ජීවිතයට ඇතුළු වූ විට, උන්වහන්සේව වඩාත් දැන හඳුනා ගැනීම සහ උන්වහන්සේව සමීපව අනුගමනය කිරීම ශ්‍රේෂ්ඨතම වික්‍රමය බව අපි සොයා ගන්නෙමු. සැබෑ ජීවිතය සඳහා දැන් සහ සෑම දිනකම උන්වහන්සේව සොයන්න.