ඔහු බොහෝ දේ හොඳින් කළ නමුත් ගැටලුවක් තිබුණි. හැමෝම එය දුටුවෝය. එහෙත් ඔහුගේ බොහෝ කාර්්‍යයභාරයන් ඉටු කිරීමට ඔහු ඉතා සාර්ථක වූ නිසා, ඔහුගේ කෝපය පිළිබඳ ගැටලුව ප්‍රමාණවත් ලෙස විසඳා නොතිබුණි. ඔහු සමඟ කිසිවෙක් මුහුණට මුහුණ ලා කථා කළේ නැත. කනගාටුවට කරුණක් නම්, මෙය වසර ගණනාවක් තිස්සේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් වලට හේතු වීමය. තවද, අවසානයේදී, තවත් බොහෝ දේ කල හැකි වූ වෘත්තීය ජීවිතයක් ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ මෙම සහෝදරයාට අකාලයේ අහිමි වුනි. බොහෝ කලකට පෙර ප්‍රේමයෙන් ඔහුව මුණ ගැසී කථා කිරීමට මා විසින් තෝරාගෙන තිබුණේ නම් යෙහෙකි.

උත්පත්ති 4 හි, යමෙකුගේ පාපයට ප්‍රේමයෙන් මුහුණ දීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ පරිපූර්ණ චිත්‍රයක් දෙවියන්වහන්සේ සැපයූ සේක. කායින් කෝපයට පත් වී සිටියේය. ගොවියෙකු වූ ඔහු, “භූමියේ ඵලයෙන් ස්වාමීන්වහන්සේට පඬුරක් ගෙනායේය” (3 පදය). නමුත්, ඔහු විසින් දෙවියන්වහන්සේට ගෙනා පඬුර පිළිගත නොහැකි බව උන්වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කළ සේක. කායින්ගේ පඬුර ප්‍රතික්ෂේප කෙරුණු අතර, ඔහු “අතිශයෙන් කෝපවිය, ඔහුගේ මුහුණද වෙනස්විය” (5 පදය). දෙවියන්වහන්සේ ඔහුට කතා කර, “නුඹ කෝපව සිටින්නේ මන්ද?” (6 පදය) කියා ඔහුගෙන් ඇසූ සේක. ඉන්පසු උන්වහන්සේ කායින්ට පැවසුවේ ඔහුගේ පාපයෙන් මිදී යහපත් හා නිවැරදි දේ අනුගමනය කරන ලෙසයි. කනගාටුදායක ලෙස, කායින් දෙවියන්වහන්සේගේ වචන නොසලකා බිහිසුණු ක්‍රියාවක් කළේය (8 පදය).

පව්කාර හැසිරීම්වලින් ඉවත් වීමට අන් අයට බල කළ නොහැකි වුවද, අපට අනුකම්පාවෙන් ඔවුන්ට කථා කළ හැකිය. අපට “ප්‍රේමයෙන් යුක්තව ඇත්ත කථා කරමින්” අප දෙදෙනාටම “ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියලු දේවලදී” වර්ධනය විය හැකිය (එපීස 4:15). තවද, දෙවියන්වහන්සේ අපට සවන් දීමට කන් ලබා දී ඇති හෙයින්, අපට අන් අයගෙන් සත්‍යයේ දැඩි වචන ද දරා ගත හැකිය.