පිරිමි ළමයෙකු ලෙස, මින්ග් තම පියා රළු සහ දුරස්ථ අයෙක් බව සොයා ගත්තේය. මින්ග් අසනීප වී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා හමුවීමට සිදු වූ විට පවා ඔහුගේ පියා එය කරදරයක් යැයි මැසිවිලි නැඟුවේය. වරක්, ඔහුට බහින්බස් වීමක් ඇසුණු අතර, ඔහුගේ පියාට ඔහුව ගබ්සා කිරීමට අවශ්‍ය වී තිබූ බව දැන ගත්තේය. අනවශ්‍ය දරුවෙකු යන හැඟීම ඔහුගේ වැඩිහිටි වයස දක්වා ඔහු පසුපස ගියේය. මින්ග් යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙකු වූ විට පවා, ඔහුගේ ජීවිතයේ ස්වාමියා ලෙස උන්වහන්සේව දැන සිටියත්, පියා ලෙස දෙවියන්වහන්සේට සම්බන්ධ වීම ඔහුට අපහසු විය.

මින්ග් මෙන්, අපගේ භූමික පියවරුන්ගේ ප්‍රේමය අපට දැනී නොමැති නම්, දෙවියන්වහන්සේ සමඟ අපගේ සම්බන්ධතාවය සම්බන්ධයෙන් අපට ඒ හා සමාන සැකයන් ඇති විය හැකිය. මම උන්වහන්සේට බරක් ද? උන්වහන්සේ මා ගැන සැලකිලිමත්ද? යනුවෙන් අපට සිතෙනු ඇත. නමුත් අපගේ භූමික පියවරුන් නිශ්ශබ්දව හා දුරස්ථව සිටියත්, දෙවියන්වහන්සේ වන අපගේ ස්වර්ගීය පියාණන් වහන්සේ අප සමීපයට පැමිණ, “මම නුඹට ප්‍රේම කරමි” (යෙසායා 43:4) කියා පවසනවා ඇත.

යෙසායා 43 හි දෙවියන්වහන්සේ අපගේ මැවුම්කරු සහ පියෙකු ලෙස කථා කරන සේක. ඔබ උන්වහන්සේගේ පවුලේ කොටසක් ලෙස උන්වහන්සේගේ රැකවරණය යටතේ ජීවත් වීමට උන්වහන්සේට අවශ්‍ය දැයි ඔබ කල්පනා කරන්නේ නම්, උන්වහන්සේ තම සෙනඟට පැවසූ දේ අසන්න: “දුර සිට මාගේ පුත්‍රයන් ද පොළොවේ කෙළවරින් මාගේ දූවරුන් ද…..” ගෙනෙන්න (6 පදය). ඔබ උන්වහන්සේට කොපමණ වටින්නේ දැයි ඔබ කල්පනා කරන්නේ නම්, උන්වහන්සේගේ සහතිකය අසන්න: “නුඹ මා ඉදිරියේ අනර්ඝව ගරු කටයුතු” වෙයි (4 පදය).

දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද යත්, උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන අපට උන්වහන්සේ සමඟ සදහටම සිටීමට හැකි වන පරිදි පාපයේ දඬුවම ගෙවීමට යේසුස්වහන්සේව එවූ සේක (යොහන් 3:16). උන්වහන්සේ පවසන දේ සහ උන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ නිසා, උන්වහන්සේට අපව අවශ්‍ය බවටත් අපට ප්‍රේම කරන බවටත් අපට පූර්ණ විශ්වාසයක් ඇති කර ගත හැකිය.