නගරයෙහි මා මුලින්ම දුටුවේ එහි සූදු පොළවල් ය. ඊළඟට, එහි ගංජා අලෙවිසැල්, “වැඩිහිටි” වෙළඳසැල් සහ අනුන්ගේ විපත්වලින් මුදල් උපයන අවස්ථාවාදී නීතිඥයින් සඳහා යෝධ දැන්වීම් පුවරුයි. මම මීට පෙර බොහෝ අයහපත් නගරවලට ගොස් ඇති අතර, මෙය තවත් පහත් මට්ටමකට ළඟා වූ බවක් පෙනෙන්නට තිබුණි.

කෙසේ වෙතත්, මම පසුදා උදෑසන කුලී රථ රියදුරෙකු සමඟ කතා කළ විට මා මෙම නගරය ගැන සිතු විදිය දීප්තිමත් විය. “මම දිනපතා දෙවියන්වහන්සේගෙන් ඉල්ලන්නේ මට උදව් කරන්න හැකි අයව මා වෙත එවන්න කියාය” යනුවෙන් ඔහු පැවසීය. “සූදුවට ඇබ්බැහි වූවන්, ගණිකාවන්, අවුල් සහගත නිවස් වලින් පැමිණෙන අය මට කඳුළු සලමින් ඔවුන්ගේ ප්‍රශ්න පවසති. ඒ අවස්ථාවේදී මා මෝටර් රථය නවත්වාගෙන ඔවුන්ගේ කථාවට සවන් දෙන්නෙමි. මම ඔවුන් වෙනුවෙන් යාච්ඤා කරන්නෙමි. මෙයයි මගේ සේවය.”

අපගේ වැටුණු ලෝකයට යේසුස්වහන්සේගේ පහළවීම විස්තර කිරීමෙන් පසු (පිලිප්පි 2:5-8), අපෝස්තලු පාවුල් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයන්ට කැඳවීමක් ලබා දෙයි. අපි දෙවියන්වහන්සේගේ කැමැත්ත පසුපස හඹා යන විට (13 පදය) සහ “ජීවනයේ වචනය” නොහොත් ශුභාරංචිය (15 පදය) අල්ලාගෙන සිටින විට, අපි “ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය” (15 පදය). එම කුලී රථ රියදුරු මෙන්, අපි අන්ධකාරය වෙතට යේසුස්වහන්සේගේ ආලෝකය ගෙන ආ යුතු වන්නෙමු.

ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකුට ඇත්තේ ලෝකය වෙනස් කිරීම සඳහා විශ්වාසවන්තව ජීවත් වීමට පමණක් බව පවසන ඉතිහාසඥ ක්‍රිස්ටෝපර් ඩෝසන් මෙසේද පවසයි: එනම්, එම ජීවත්වීමේ ක්‍රියාව තුළම “දිව්‍ය ජීවිතයේ සියලු අභිරහස අඩංගු වන” බැවිනි. ලෝකයේ අඳුරුතම ස්ථානවල උන්වහන්සේගේ ආලෝකය බබළමින් යේසුස්වහන්සේගේ සෙනඟ ලෙස විශ්වාසවන්තව ජීවත්වීමට අපට බලය දෙන ලෙස දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් ඉල්ලා සිටිමු.