2016 දී, වොන්ඩා ඩෙන්ච් ස්තුති දීමේ රාත්‍රී ආහාරය සඳහා ආරාධනා කරමින් ඇගේ මුනුපුරාට කෙටි පණිවුඩයක් යැව්වාය. එහෙත් මෑතකදී ඔහුගේ දුරකථන අංකය වෙනස් කර ඇති බව ඇය නොදැන සිටියාය. ඒ වෙනුවට මෙම කෙටි පණිවුඩය ලැබුණේ ආගන්තුකයෙකු වන ජමාල් වෙතටය. ජමාල්ට ස්තුති දීමේ රාත්‍රී ආහාරය සඳහා සැළසුමක් නොතිබූ අතර, ඔහු කවුදැයි කියා පැහැදිළි කිරීමෙන් පසු, ඔහුට රාත්‍රී ආහාරයට පැමිණිය හැකිදැයි විමසීය. වොන්ඩා පැවසුවේ, “ඇත්ත වශයෙන්ම ඔබට පුළුවන්” කියාය. ජමාල්, පවුලේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වූ අතර එතැන් සිට එය ඔහුට වාර්ෂික සම්ප්‍රදායක් බවට පත් වුනි. වැරදි ආරාධනයක් වුවත් එය වාර්ෂික ආශීර්වාදයක් විය.

නාඳුනන කෙනෙකුට රාත්‍රී භෝජන සංග්‍රහයකට ආරාධනා කිරීමේ වොන්ඩාගේ කරුණාව ලූක්ගේ ශුභාරංචිය තුළ යේසුස්වහන්සේගේ දිරිගැන්වීම මට මතක් කර දෙයි. ඵරිසිවරුන්ගෙන් “ප්‍රධානියෙකුගේ” නිවසේ රාත්‍රි භෝජන සංග්‍රහයක් අතරතුර (ලූක් 14:1), ආරාධිතයන් කවුද කියා යේසුස්වහන්සේ දුටු අතර අමුත්තන් හොඳම ආසන සඳහා පොරකන ආකාරයද උන්වහන්සේ දුටු සේක (7 පදය). යේසුස්වහන්සේ තම සත්කාරකයාට පැවසුවේ, ඔහු වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ මත පදනම්ව මිනිසුන්ට ආරාධනා කිරීමෙන් (12 පදය) ආශීර්වාදය සීමිත වනු ඇති බවයි. ඒ වෙනුවට, යේසුස්වහන්සේ සත්කාරකයාට පැවසුවේ තමාට ආපසු දීමට සම්පත් නොමැතිව සිටින මිනිසුන්ට ආගන්තුක සත්කාරය දැක්වීම ඊටත් වඩා විශාල ආශීර්වාදයක් ගෙන දෙන බවයි (14 පදය).

ස්තුති දීමේ රාත්‍රී භෝජන සංග්‍රහයට තම පවුලට එක්වන ලෙස ජමාල්ට ආරාධනා කිරීම වොන්ඩාට කල් පවත්නා මිත්‍රත්වයක අනපේක්ෂිත ආශිර්වාදයකට හේතු විය. එය ඇගේ සැමියාගේ මරණයෙන් පසු ඇයට මහත් දිරිගැන්වීමක්ද විය. අපි අන් අය වෙත ළඟා වන විට, අපට ඔවුන්ගෙන් ලැබිය හැකි දේ නිසා නොව, නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය අප තුළින් ගලා එන නිසා, අපට ඊට වඩා වැඩි ආශීර්වාදයක් සහ දිරිගැන්වීමක් ලැබෙන්නේය.