මට ඉක්මනින් බෙහෙත් වර්ග දෙකක් අවශ්‍ය වී තිබුණි. එක් බෙහෙතක් මගේ මවගේ අසාත්මිකතා සඳහා වන අතර අනෙක මගේ ලේලියගේ දද සඳහා ය. ඔවුන්ගේ අසහනය නරක අතට හැරෙමින් තිබු නමුත් තවදුරටත් ඔසු සල්වල ඖෂධ නොතිබුණි. බලාපොරොත්තු සුන් වූ සහ අසරණ වූ මම ස්වාමීනි, කරුණාකර ඔවුන්ට උපකාර කළ මැනව කියා නැවත නැවතත් යාච්ඤා කළෙමි,

සති කිහිපයකට පසු, ඔවුන්ගේ තත්ත්වයන් පාලනය කළ හැකි පැත්තට හැරෙමින් තිබුණි. දෙවියන්වහන්සේ මෙසේ පවසන බවක් පෙනෙන්නට තිබුණි: එනම්, “සුව කිරීමට මම ඖෂධ භාවිතා කරන අවස්ථා තිබේ. එහෙත් ඖෂධ අවසාන ප්‍රකාශය නොවේ; මට තිබේ. ඔබේ විශ්වාසය ඒවා මත නොතබන්න, නමුත් මා තුළ ඔබගේ විශ්වාසය තබන්න”.

ගීතාවලිය 20 හි දාවිත් රජ දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකමෙන් සැනසීමක් ලැබුවේය. ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රබල හමුදාවක් තිබුණත්, ඔවුන්ගේ උපරිම ශක්තිය පැමිණියේ “ස්වාමීන්ගේ නාමයෙන්” (7 පදය) බව ඔවුන් දැන සිටියෝය. ඔවුහූ දෙවියන්වහන්සේගේ නාමය කෙරෙහිද උන්වහන්සේ කවුරුන්ද, උන්වහන්සේගේ වෙනස් නොවන චරිතය සහ නොවරදින පොරොන්දුද මත විශ්වාසය තැබූහ. සියලු තත්ත්වයන් කෙරෙහි පරමාධිපත්‍ය ඇති බලසම්පන්න තැනැන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දී ඔවුන්ගේ සතුරන්ගෙන් ඔවුන්ව ගලවා ගන්නා බවට විශ්වාසයෙන් ඔවුහු සත්‍යය මත රැඳී සිටියහ (6 පදය).

දෙවියන්වහන්සේට මේ ලෝකයේ සම්පත් අපට උපකාර කිරීමට භාවිතා කළ හැකි වුවත්, අවසාන වශයෙන්, අපගේ ප්‍රශ්න මතට ජයග්‍රහණය පැමිණෙන්නේ උන්වහන්සේගෙන්ය. උන්වහන්සේ අපට විසඳුමක් හෝ විඳ දරාගැනීමට කරුණාව ලබා දුන්නත්, නොදුන්නත්, උන්වහන්සේ කවුද කියාත් උන්වහන්සේ පවසන සියල්ල උන්වහන්සේ කරනු ඇතැයි කියාත් අපට විශ්වාස කළ හැකිය. අපගේ කරදරවලින් අප යටපත් විය යුතු නැත, නමුත් අපට උන්වහන්සේගේ බලාපොරොත්තුව හා සමාදානයෙන් ඒ කරදරවලට මුහුණ දිය හැක.