ෆායේ ඇගේ ආමාශයේ කැළැල් ස්පර්ශ කළාය. ආමාශයේ තිබූ පිළිකාවක් ඉවත් කිරීමට ඇය තවත් ශල්‍ය කර්මයකට මුහුණ දුන්නාය. මෙවර වෛද්‍යවරු ඇගේ ආමාශයෙන් කොටසක් ඉවත්කර ඔවුන්ගේ වැඩයේ තරම පෙන්වන කැළලක් ඉතිරි කර තිබුණි. ඇය ඇගේ ස්වාමි පුරුෂයාට මෙසේ පැවසුවාය : “කැළැල් නියෝජනය කරන්නේ පිළිකාවේ වේදනාව හෝ සුවයේ ආරම්භයයි. මගේ කැළැල් සුවයේ සංකේතයක් ලෙස මම තෝරා ගනිමි”.

දෙවියන්වහන්සේ සමග මුළු රාත්‍රියේම කරන ලද මල්ලව පොර තරඟයෙන් පසුව යාකොබ්ද ඒ හා සමාන තීරණයකට මුහුණ දුන්නේය. දිව්‍ය ප්‍රහාරකයා යාකොබ්ගේ කලවා සන්ධිය බිඳී දැමූ අතර ඔහු අති වෙහෙසට පැමිණ කැපී පෙනෙන කොරයක් සහිතව සිටියේය. මාස කිහිපයකට පසුව යාකොබ් තමාගේ මෘදු කලවය සම්බාහනය කරද්දී ඔහුට කුමක් සිතෙන්න ඇද්දැයි මම කල්පනා කරන්නෙමි.

මෙම තරඟයට හේතුවූ වසර ගණනාවක් ඔහු කළ රැවටීම් ගැන ඔහු කණගාටුවෙන් පිරී ගියේද? දිව්‍ය පණිවුඩකරු පොර බදා ඔහු වෙතින් සත්‍යය පිටතට ගත්තේ යාකොබ් තමා කවුද කියා පිළිගන්නා තෙක් ආශිර්වාද කිරීම ප්‍රතික්‍ෂේප කරමිනි. තමා යාකොබ් බව එනම් “විලුඹ අල්ලාගත්” (උත්පත්ති 25:26) අය බව පිළිගත්තේය. ඔහු තම සහෝදරයා වන ඒසව් සහ මාමා වන ලාබාන්වද රැවටුවේ තමාට වාසි ලබා ගන්නා පිණිසය. දිව්‍ය ක්‍රීඩකයා කියා සිටියේ “නුඹ දෙවියන්වහන්සේ සමගත් මනුෂ්‍යයන් සමගත් පොර බදා ජයගත් නිසා” (උත්පත්ති 32:28) මින්පසු යාකොබ්ගේ අලුත් නම “ඉශ්‍රායෙල්” වන බවයි.

යාකොබ්ගේ කොරය සංකේතවත් කළේ ඔහුගේ රැවටිලිකාර පරණ ජීවිතයේ මරණයත් දෙවියන්වහන්සේ සමග ඔහුගේ අලුත් ජීවිතයේ ආරම්භයත්ය. යාකොබ්ගේ අවසානය සහ ඉශ්‍රායෙල්ගේ ආරම්භයය. ඔහුගේ කොරය දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට ඔහුට මග පෙන්වීය. දැන් ඔහු උන්වහන්සේ තුළද උන්වහන්ගේ මගින්ද බලවත් ලෙස ක්‍රියා කරන්නේය.