ඉරිදා රැස්වීමට පසු විදුලි බුබුළු නිවා දමා ගොඩනැගිල්ල වසා දැමීමේ වගකීම ඇත්තේ කාටද කියා මම නොදනිමි. නමුත් ඒ පුද්ගලයා ගැන එක් දෙයක් මම දනිමි. ඒ ඔහුගේ ඉරිදා රාත්‍රී ආහාර වේල ප්‍රමාද වන බවයි. ඊට හේතුව බොහෝ දෙනෙක් සේවාවෙන් පසුව ජීවිත තීරණ, හදවතේ ඇති ගැටළු සහ තවත් දේවල් කථා කිරීමටද තවත් බොහෝ දෙවල් සඳහාද නවතින හෙයිනි. රැස්වීම අවසන් වී විනාඩි විස්සකට පසුවත් බොහෝ සෙනගක් නැවතී සිට එකිනෙකාගේ සහභාගීත්වය භුක්ති විඳිනවා දැකීම සතුටකි.

සහභාගීත්වය ක්‍රිස්තියානි ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසකි. හවුල් ඇදහිලිවතුන් අතර එකිනෙකා සමග සම්බන්ධතාවයක් නැත්නම් ඇදහිලිවන්තයෙක් ලෙසට අපට බොහෝ වරප්‍රසාද නැතිවී යනු ඇත.

උදාහරණයක් ලෙස පාවුල් පවසන්නේ “එකිනෙකාට අවවාද කර එකිනෙකා වර්ධනය කර ගනිල්ලා” (1 තෙසලෝනික 5:11) යනුවෙනි. හෙබ්‍රෙව් කතුවරයා එකඟවෙමින් අපට පවසන්නේ අපි රැස්වීම අත් නෑර සිටිය යුත්තේ “වඩ වඩා එකිනෙකාට අවවාද කිරීම” අප කළ යුතු හෙයිනි (10:25). එසේම එම කර්තෘ තදුරටත් පවසන්නේ අප එක්ව සිටින විට “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා” ගන්නා බවයි (24 පදය).

යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට කැපවූ සෙනගක් ලෙස විශ්වාසවන්තව සහ සේවය කිරීමට අපව සුදානම් කර ගන්නෙමු. එසේ කරන්නේ “ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්්‍යය” කරමින් සහ “සියල්ලන් ගැන ඉවසිලිවන්තව” සිටීමටය (1 තෙසලෝනික 5:14). උන්වහන්සේ අපට උපකාර කරන ලෙස එසේ ජීවත් වීමෙන් සත්‍යය සහභාගීත්වය භුක්ති විඳීමටත් සහ “එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත් දේ” කිරීමටත් අපට හැකි වනු ඇත (15 පදය).