මැද පෙරදිග අනාථ කඳවුරකදී රෙසාට බයිබලයක් ලැබුණු විට ඔහු යේසුස්වහන්සේව දැන ගැනීමටද විශ්වාස කිරීමටද පැමිණියේය. ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් ඔහුගේ පළමු යාච්ඤාව වූයේ “ඔබවහන්සේගේ සේවකයෙක් වශයෙන් මාව භාවිතා කළ මැනව” යන්නයි. පසුව ඔහු කඳවුර අතහැර ගිය විට දෙවියන් වහන්සේ ඔහුගේ එම යාච්ඤාවට පිළිතුරු සැපයූවේ නැවත අනාථ කඳවුරට පැමිණ ඔහු දැන ගෙන සිටි හා ප්‍රේම කළ අයට සේවය කරන පිණිස සහනය සපයන ආයතනයක ඔහුට නොසිතූ විරූ ලෙස රැකියාවක් ලැබීමෙනි. ඔහු ක්‍රීඩා සමාජ, භාෂා පංති සහ නීති උපදෙස් වැනි “ජනතාවට බලාපොරොත්තුවක් ලබා දිය හැකි ඕනෑම දෙයක්” ඇති කළේය. ඔහු මෙම වැඩ සටහන් දුටුවේ අන් අයට සේවය කිරීමට සහ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ ප්‍රේමය පෙන්විය හැකි දේ ලෙසිනි.

ඔහු බයිබලය කියවන විටදී උත්පත්ති පොතෙහි යෝසෙප්ගේ කථාව සමග තමාගේ සම්බන්ධතාවයක් රෙසාට දැණුනි. සිරගෙයි සිටියදී තමන්වහන්සේගේ සේවය ව්‍යාප්ත කිරීමට දෙවියන්වහන්සේ යෝසෙප්ව භාවිතා කළ ආකාරය රෙසා දුටුවේය. මක්නිසාදයත් දෙවියන්වහන්සේ යෝසෙප් සමග සිටි හෙයින් උන්වහන්සේ යෝසෙප්ට කරුණාව සහ දයාව පෙන්වූ සේක. සිරගෙයි මුලාදෑනියා යෝසෙප්ට එහි පාලනය භාර දී ඒ ගැන කිසිදු අවධානයක් යොමු නොකළේ “ස්වාමින්වහන්සේ ඔහු කළ දේවල් සඵල කළ” හෙයිනි (උත්පත්ති 39:23).

දෙවියන්වහන්සේ අප සමග සිටීමටද පොරොන්දු වූ සේක. අප ඇත්තෙන්ම හෝ සංකේතාත්මකව හෝ සිරගෙයි සිටියත් අසීරුතා අස්ථානගත වීම් සිත් රිදිම් සහ වේදනාවෙන් සිටියත් උන්වහන්සේ කිසි දිනෙක අපව අත් නොහරින බවට අපට විශ්වාස කළ හැකිය. කඳවුරේ සිටින අයට උපකාර කිරීමට රෙසාටද සිරගෙය පාලනය කිරීමට යෝසෙප්ටද උන්වහන්සේ උපකාර කළ ලෙසට උන්වහන්සේ සෑම විටම අපට ළංව සිටින සේක.