වයස තිහේදී අලුත් ඇදහිලිවතෙක් ලෙසට මම දෙවියන්වහන්සේට ජීවිතය කැප කළ පසු මට බොහෝ ප්‍රශ්න ඇසීමට තිබුණි. මම දේව වචනය කියවීමට ආරම්භ කළ පසු මට ඊටත් වඩා ප්‍රශ්න ඇති විය. මම මිතුරෙක් වෙතට යොමු වූයෙමි. “දෙවියන්වහන්සේගේ ආඥා සියල්ලටම මට කීකරු විය හැක්කේ කෙසේද? මම මගේ ස්වාමි පුරුෂයාට අද උදේ බැණ වැදුණෙමි”.

“බයිබලය දිගටම කියවා ගෙන යන්න. එසේම යේසුස්වහන්සේ ප්‍රේම කරන ලෙස ප්‍රේම කරන්න උපකාර කරන්න යැයි ශුද්ධාත්මයෙන් ඉල්ලන්න” කියා ඇය කීවාය.

දෙවියන්වහන්සේගේ දරුවෙක් ලෙස වසර විස්සකට වඩා ජීවත් වූ පසු උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම චක්‍රයේ පියවර තුන වැළඳ ගැනීමට මෙම සරල නමුත් ගැඹුරු සත්‍යය තවමත් මට උපකාර කරන්නේය. පළමුවෙන් පාවුල් ස්ථිර කළේ යේසුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකුගේ ජීවිතයේ ප්‍රේමය මධ්‍යය වන බවයි. දෙවනුව
“එකිනෙකාට ප්‍රේමවීම” නැමැති ණය නොකඩවා ගෙවීමෙන් ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයෝ කීකරුකමෙහි හැසිරෙමින් “අසල්වාසියාට ප්‍රේම කරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණ” කරන්නේය (රෝම 13:8). අවසානයේදී අපි ව්‍යවස්ථාව සම්පූර්ණ කරන්නේ “ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ” නැති හෙයිනි (10 පදය).

කුරුසියේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව තුළින් එළිදක්වන ලද අප වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපි අත් දකින විට අපට කෘතඥතාවයෙන් යුතුව ප්‍රතිචාර දැක්විය හැකිය. අපගේ වචන, ක්‍රියා සහ ආකල්ප මගින් අන් අයට ප්‍රේම කිරීමට යේසුස්වහන්සේ කෙරෙහි ඇති අපගේ කෘතඥතා නමස්කාරය අපට මග පෙන්වන්නේය. සත්‍යය ප්‍රේමය ගලා එන්නේ ප්‍රේමය වූ එකම සත්‍යය දෙවියන්වහන්සේ තුළිනි (1 යොහන් 4:16, 19). ප්‍රේමණීය දෙවියන්වහන්ස, ඔබවහන්සේගේ ශ්‍රේෂ්ඨ ප්‍රේම චක්‍රයට හසුවන්න අපට උපකාර කළ මැනව.