අප සාදන දේවල රතු පාට ස්වභාවයෙන් ඇති නොවන්නේය. ටී ෂර්ට් එකකට හෝ තොල් ආලේපනයකට (ලිප්ස්ටික්) මෙම ප්‍රබෝධමත් වර්ණය දමන්නේ කෙසේද? පුරාණ කාලයේදී රතු වර්ණකය සාදනු ලැබුවේ මැටි හෝ රතු පාෂාණ වලිනි. 1400 ගණන් වල ඇස්ටෙක්ස් ජාතීන් රතු වර්ණය සෑදීමට රතු කෘමීන් වර්ගයක් භාවිතා කළහ. අද එම කුඩා කෘමීන් ලෝකයටම රතු සපයයි.

බයිබලයේ රතු වර්ණය රාජකීයත්වය මෙන්ම පාපය සහ ලැජ්ජාව සංකේතවත් කරයි. එසේම එය රුධීරයේ වර්ණයයි. සොල්දාදුවන් විසින් යේසුස්වහන්සේගේ ඇඳුම් ගළවා රතු සළුවක් උන්වහන්සේට පැළඳ වූ (මතෙව් 27:28) අවස්ථාවේදී මෙම සංකේතයන් තුන සිත් බිඳින රතු පාට රූපකයක් වුනි. විය හැකි රාජකීයත්වය ගැන උන්වහන්සේට නින්දා කෙරුණි. උන්වහන්සේ විසින් ඉක්මණින් හෙලනු ලබන රුධිරයේ පාට වන රතු පාට සළුවක් පළඳ වන ලදී. නමුත් අපට ඇති රතු කැළැල් වලින් අපව ගළවා ගැනීම සඳහා වූ යේසුස්වහන්සේගේ රතු වර්ණය ගැන යෙසායාගේ වචන අපට අනාවැකි පොරොන්දුවක් දෙන්නේය. “නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත් ඒවා හිම මෙන් සුදු වන්නේය” (1:18).

තවත් දෙයක් නම් මෙම රතු වර්ණකය සාදා ගැනීමට යොදා ගන්නා කෘමීන් ඇත්ත වශයෙන්ම පිටතින් කිරි මෙන් සුදුය. ඔවුන් රතු රුධිරය වගුරුවන්නේ ඔවුන්ව පොඩි කළ විටදීය. එම සුලු කරුණ යෙසායාගේ වෙනත් වචන වලින් දෝංකාර දෙන්නේය. “(යේසුස්වහන්සේ) පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය” (යෙසායා 53:5).

පාපයක් නොදත් යේසුස්වහන්සේ පාපයෙන් රතු වී ඇති අපව ගළවා ගැනීම සඳහා මෙහි සිටින සේක. යේසුස් වහන්සේව පොඩි කරනු ලැබූ මරණයෙන් විශාල වශයෙන් රතු හෙළනු ලැබුවේ අපව හිම මෙන් සුදු කරන පිණිසය.