මාතෘකාව වූයේ ලෙවී කථාවය. මට පාපෝච්චාරණයක් කරන්න තිබේ. “මම බොහෝ දේවල් මග හැර කියෙව්වෙමි”. මම මගේ බයිබල් අධ්‍යයන කණ්ඩායමට කීවෙමි. “මම තවදුරටත් කුෂ්ඨ රෝග ගැන කියවන්නේ නැත”.

මගේ මිතුරු ඬේව් කථා කළේ එවිටය. “එම ඡේදය නිසා යේසුස්වහන්සේව විශ්වාස කරන අයෙක් ගැන මම දනිමි” කියා ඔහු කීවේය. තමාගේ මිත්‍රයෙක් වූ වෛද්‍යවරයා අදේවවාදියෙක් වූ බව ඬේව් විස්තර කළේය. ඔහු බයිබලය සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍ෂේප කිරීමට පෙර එය තමාටම කියවා ගත යුතු බව තීරණය කළේය. ලෙවී කථාවේ චර්ම රෝග පිළිබඳ ඡේද ඔහුගේ සිත් ගත්තේය. එහි බෝවන සහ බෝ නොවන තුවාල ගැන පුදුමාකාර විස්තරයක්ද (13:1-46) ඒවාට ඇති ප්‍රතිකාර ගැනද (14:8-9) සඳහන් විය. එය ඒ කාලයේ වෛද්‍ය දැනුම පසු කර ගොස් තිබුණත් එය ලෙවී කථාවේ සඳහන් වුනි. මෝසෙස් මේ දේවල් දැන සිටියේ යයි සිතීමට ඉඩක් නැති බව ඔහු කල්පනා කළේය. ඇත්ත වශයෙන්ම මෝසෙස්ට මෙම විස්තර දෙවියන්වහන්සේගෙන් ලැබෙන්න ඇතැයි ඔහු කල්පනා කළේය. කෙමෙන් කෙමෙන් ඔහු තම ඇදහිල්ල යේසුස්වහන්සේ මත තැබීය.

බයිබලයේ සමහර කොටස් ඔබට නීරස නම් මමත් ඔබ සමගය. නමුත් එහි සඳහන් වන සෑම දෙයක්ම ඇත්තේ හේතුවක් නිසාය. ලෙවී කථාව ලියා ඇත්තේ දෙවියන්වහන්සේ වෙනුවෙන් සහ උන්වහන්සේ සමග ජීවත් වන්නේ කෙසේදැයි ඉශ්‍රායෙල්වරු දැන ගන්නා පිණිසය. දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ සෙනග ගැන අපි ඉගෙන ගන්නා විට අපි දෙවියන්වහන්සේ ගැන ඉගෙන ගන්නෙමු.

“…. සියලු යහපත් ක්‍රියාවලට සුදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ” (2 තිමෝති 3:16) යනුවෙන් අපෝස්තලු පාවුල් ලිවීය. අපි දිගටම කියවා ගෙන යමු. ලෙවී කථාව පවා.