ඔබ කට වසා ගෙන සිටින තාක් කල් ඔබ කිසි වරදක් නොකරයි කියා මම මටම කියා ගතිමි. මගේ හවුල් සේවිකාවක් විසින් කියන ලද දෙයක් වැරදියට අර්ථකථනය කර ගෙන තිබූ නිසා ඇය කෙරෙහි වූ මගේ කෝපය මම පිටතින් සඟවා ගෙන සිටියෙමි. සෑම දිනකම අපට එකිනෙකාව මුණ ගැසීමට තිබුණ නිසා අවශ්‍ය දෙයට පමණක් සංනිවේදනය සීමා කර ගැනීමට (සහ මගේ නිශ්ශබ්ද වීමේ ප්‍රතිචාරය තුළින් ප්‍රතිප්‍රහාර දැක්වීමට) මම තීරණය කළෙමි. නිෂ්චල හැසිරීමක් වැරදි වන්නේ කෙසේද?

පාපය ආරම්භ වන්නේ සිතෙන් කියා යේසුස්වහන්සේ කී සේක (මතෙව් 15:18-20). මාගේ නිශ්ශබ්දතාවය සෑම දෙයක්ම යහපත් යයි සිතීමට අන් අය රවටන්න ඇත. නමුත් එයට දෙවියන්වහන්සේව රැවටීමට නොහැක. කෝපයෙන් පිරුණු හදවතක් මා සඟවා ගෙන සිටින බව උන්වහන්සේ දැන සිටි සේක. මම, ඔවුන්ගේ තොල් වලින් දෙවියන්වහන්සේට ගෞරව කළත් ඔවුන්ගේ සිත උන්වහන්සේගෙන් දුරුව තිබූ ඵරිසිවරුන්ට සමාන වූයෙමි (8 පදය). මාගේ පිටස්තර පෙනුම මගේ සත්‍ය හැඟීම් නොපෙන්වුවද මාගේ තිත්තකම මා තුළ පැසවමින් තිබුණි. ස්වර්ගීය පියාණන් සමග සෑම විටම තිබූ ප්‍රීතියේ සහ සමීපතාවයේ හැඟීම මා කෙරෙන් ඉවත්ව තිබුණි. පාපය සඟවා ගෙන පෝෂණය කළ විට එය සිදු වේ.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මම මගේ මිතුරියට මාගේ හැඟීම කියා සමාව ඉල්ලා සිටියෙමි. ඇය ඉමහත් දයාවෙන් මට සමාව දුන්නාය. ක්‍රම ක්‍රමයෙන් අපි හොඳ මිතුරෝ වුයෙමු. “නපුරු සිතිවිලි …….. සිතින් නික්මෙන්නේය” (19 පදය) කියා යේසුස්වහන්සේ පැවසුවේ හදවතෙහි ඇති නපුර අපගේ ජීවිතවල ඇතුළතට සහ පිටතට යන දෙකටම පැතිර යා හැකි බැවින් අපගේ හදවතේ තත්ත්වය වැදගත් බව පෙන්වීමටයි.