අපි කැලිෆෝර්නියාවේ මොන්ටේරේ බොක්කේ මත්ස්‍යාගාරයට ඇතුල් වන විට මගේ තුන් හැවිරිදි පුතා වන සේවියර් මගේ අත මිරිකුවේය. වහලෙහි එල්ලෙමින් තිබූ සම්පූර්ණ උස සහිත මොල්ලි තල්මසෙකු පෙන්වා “ඉතාමත් විශාලයි” කියා කීවේය. ප්‍රදර්ශනය කර ඇති එක් එක් භාණ්ඩය නරඹන කල ඔහුගේ දෑස් ප්‍රීතියෙන් පුළුල් විය. කෑම වෙලාවේදී දිය බල්ලන් එහේ මෙහේ පනිනවා දැක අපි සිනහසුනෙමු. දීප්තිමත් නිල් ජලයෙහි ජල්ලි මත්ස්‍යයන් නටන විට අපි තුෂ්ණිම්භූතවී විශාල වීදුරු ටැංකි ඉදිරියෙහි බලා සිටියෙමු. “ ඔබවත් මාවත් සෑදූ ආකාරයෙන්ම දෙවියන්වහන්සේ සාගරහෙි සිටින සෑම සත්ත්වයෙක්ම සෑදූ සේක” කියා මම කීවෙමි. “වාව්” කියා සේවියර් මිමුණුවේය.

ගීතාවලිය 104 හි ගීතිකාකරු දෙවියන්වහන්සේගේ මැවිල්ලේ විශාලත්වය පිළිගෙන ගායනා කළේය. “ඔබ මේ සියල්ල ප්‍රඥාවෙන් සෑදූ සේක. පොළොව ඔබගේ සම්පත්තියෙන් පූර්ණය” (24 පදය). ඔහු ප්‍රකාශ කළේ “අන්න මහත්වූ විශාල වූ මුහුද. එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති” (25 පදය) යනුවෙනි. උන්වහන්සේ මැවූ සියල්ලට උන්වහන්සේගේ ත්‍යාගශීලි සහ තෘප්තිමත් සැපයීම ගැන ඔහු ප්‍රකාශ කළේය (27-28). එසේම එක එක මැවිල්ල ජීවත්වන දිනයන්ට දෙවියන්වහන්සේ තීරණය කර ඇති බව ඔහු ස්ථිර කළේය (29-30 පද).

ගීතිකාකරුගේ මෙම ප්‍රකාශය ගායනා කරමින් අපටද ගීතිකාකරු සමග එක් විය හැකිය. “දිවි ඇති තාක් ස්වාමින්ට ගී කියන්නෙමි. මා පවතින තාක් මාගේ දෙවියන්වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි” (33 පදය). සෑම ප්‍රාණියෙක්ටම එනම් විශාල සහ කුඩා සෑම ප්‍රාණියෙක්වම දෙවියන්වහන්සේ මවා ඇති හෙයින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට ඒ සැමටම අපට මග පෙන්විය හැකිය.