අල්බා පවුල මාස දහතුනක කාල සීමාවක් තුළ එක හා සමාන නිවුන් දරු උපත් දෙකක් අත් වින්දහ. ඔවුහු තම මාපිය වගකීම් සහ රැකියාවන් සමතුළිත කර ගත්තේ කෙසේද? ඔවුන්ගේ සමූහනයේ මිතුරන් සහ පවුල් ඥාතිීන් ඉදිරියට ආහ. දෙපැත්තේම ආච්චිලා සහ සීයලා නිවුන්නු කට්ටලය බැගින් භාර ගත් නිසා දෙමාපියන්ට වැඩට යාමට සහ සෞඛ්‍ය රක්‍ෂණය ගෙවීමටද හැකියාව ලැබුණි. එක සමාගමක් වසරකට සෑහෙන්න ඩයපර් ලබා දුන්නේය. යුවළගේ හවුල් සේවකයෝ ඔවුන්ගේ පුද්ගලික ලෙඩ නිවාඩු පරිත්‍යාග කළහ. “අපගේ සමූහනය නොමැතිව අපට මෙය කළ නොහැකි වනු ඇත” කියා ඔවුහු එකඟ වූහ. තවද සජීවි සම්මුඛ පරීක්‍ෂණයක් අතර තුරදී වැඩ සටහන ඉදිරිපත් කළ අය තම මයික්‍රෆෝනය ගළවා දමා දඟකාර ළදරුවෙක් පසු පස හඹා ගියේ සමූහන ආයෝජනයේ අඛණ්ඩතාවය පෙන්නුම් කරමිනි.

මතෙව් 25:31-46 දක්වා උපමාවකින් යේසුස්වහන්සේ පවසන්නේ අපි අන් අයට සේවය කරද්දී දෙවියන්වහන්සේට සේවය කරන බව ඉස්මතු කර දක්වන බවයි. සාගින්නේ සිටින අයට කෑම සැපයීම, පිපාසයෙන් සිටින අයට බොන්න දීම, නිවාස නැති අයට සෙවණක් ලබා දීම, වස්ත්‍ර නොමැති අයට වස්ත්‍ර ලබා දීම, රෝගීන්ට සුවය යනාදිය ඇතුළත් සේවාවන් ලැයිස්තුගත කිරීමෙන් පසුව (35-36 පද) යේසුස්වහන්සේ අවසන් වශයෙන් ප්‍රකාශ කළේ “සැබවක් නුඹලාට කියමි – මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටය” යනුවෙනි (40 පදය).

අපගේ කරුණාවන්තකමේ පරමලාභියා යේසුස්වහන්සේ බව දැන සිටීම අසල්වැසියන්ටද පවුලටද සභාවන් වලටද ලෝකයටද සේවය කිරීමට ලැබෙන සත්‍යය පෙළඹවීම වන්නේය. අන් අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපවීමෙන් ආයෝජනය කරන ලෙසට උන්වහන්සේ අපට මුමුණන විට අපි උන්වහන්සේට සේවය කරන්නෙමු. අපි අන් අයට ප්‍රේම කරන විට අපි දෙවියන්වහන්සේට ප්‍රේමකරන්නෝ වෙමු.