දහතුන් වන සියවසේ මුලදී ආරම්භ වූ චාරිත්‍රයක් ලෙස එක්සත් රාජධානියේ රාජකීය පවුලේ සාමාජිකයන් විසින් මහ සිකුරාදාට පෙර දින එනම් මහා බ්‍රහස්පතින්දා දිනයේදී අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාවට ත්‍යාග ලබා දුන්හ. එම ක්‍රියාව පදනම් වී ඇත්තේ “මොන්ඩි” යන ඉංග්‍රිසි වචනයේ ලතින් වචනය වන “මැන්ඩාටම්” යන්නෙනි. එහි තේරුම වන්නේ ආඥාවයි. මේ ආඥාව සමරන්නේ යේසුස්වහන්සේ තම මිතුරන්ට උන්වහන්සේ මිය යාමට පෙර දිනයෙහි දුන් අලුත් ආඥාව නිසාය. “මා නුඹලාට ප්‍රේම කළාක් මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේම කරන ලෙස එකිනෙකාට ප්‍රේම කරපල්ලා” (යොහන් 13:34) යනුවෙනි.

යේසුස්වහන්සේ යනු සේවකයෙක්ගේ භූමිකාව ගෙන තම මිතුරන්ගේ පාද සේදූ නායකයෙකි (5 පදය). උන්වහන්සේ ඊට පසු එසේම කරන්න යැයි ඔවුන්ට කී සේක. “මා නුඹලාට කළ ලෙස නුඹලාත් කරන පිණිස නුඹලාට ආදර්ශයක් දුනිමි” (15 පදය). එසේම ඊටත් වඩා ශ්‍රේෂ්ඨ පූජාවක් ලෙස කුරස පත් වී තමන්වහන්සේගේ ජීවිතය පවා දුන් සේක (19:30). අපි ජීවිතය පූර්ණ ලෙස භුක්ති විඳින පිණිස දයාව සහ ප්‍රේමය තුළින් උන්වහන්සේ තමන්වම දුන් සේක.

අවශ්‍යතාවයන්ගෙන් පෙළෙන ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ බ්‍රිතාන්‍ය පවුලේ චාරිත්‍රය දිගටම ගලා ගෙන යන්නේ යේසුස්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ආදර්ශයේ සංකේතයක් ලෙසිනි. වරප්‍රසාදයන්ගෙන් පිරි පවුලක අපි ඉපදුනා නොවිය හැකිය. නමුත් අපි අපගේ විශ්වාසය යේසුස්වහන්සේ කෙරෙහි තැබූ කල අපි උන්වහන්සේගේ පවුලේ සාමාජිකයෝ වන්නෙමු. උන්වහන්සේගේ නව ආඥාව තුළ ජීවත් වී අපටද ප්‍රේමය පෙන්විය හැකිය. අපව ඇතුලාන්තයෙන් වෙනස් කරන ලෙසට දෙවියන්වහන්සේගේ ආත්මය මත අප යැපෙන විට සැළකිල්ලෙන් ස්ථිරත්වයෙන් සහ අනුග්‍රහයෙන් යුතුව අපට අන් අය වෙත ළඟ විය හැකිය.