මගේ ජීවිතයේ වූ අසීරු සිදුවීම් නිසා හදවත ඇතුලාන්තයේ සහ ආත්මිකව වේදනාවකින් සහ පොර බැදීමකින් දිගු කාලයක් ගත කළ හෙයින් මට පහසුවෙන් සභාවෙන් ඉවත්වීමට හැකියාව තිබුණි. (සමහර විට කරදර වන්නේ ඇයි කියා මම කල්පනා කළෙමි). නමුත් සෑම ඉරු දිනකම සභාවට යාමට මම පෙළඹුණෙමි.

මගේ තත්ත්වය තවත් වසර ගණනාවක් එසේම තිබුණු අතර සභාවේ අනෙකුත් ඇදහිලිවතුන් සමග යාච්ඤා රැස්වීම් සහ බයිබල් අධ්‍යයනයන්ට සහභාගී වීමෙන් නොපසුබට වීමට සහ බලාපොරොත්තු සහිතව සිටීමට අවශ්‍ය දිරිගැන්වීම මට ලැබුණි. බොහෝ විට මාව ඔසවා තබන පණිවුඩ හෝ ඉගැන්වීම් අසන්න ලැබුණා පමණක් නොව අන් අයගෙන් මට අවශ්‍ය වූ සහනයද, ඇහුම්කන් දෙන අයෙකු හෝ වැළඳ ගැනිමක්ද ලැබුණි.

හෙබ්‍රෙව් කර්තෘ ලියන්නේ “සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර ඒ දවස ළංවන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු” (හෙබ්‍රෙව් 10:25). අප අසීරුතා වලට සහ අරගලවලට මුහුණ දෙන විට අන් අයගේ සහතිකය අපට අවශ්‍ය බවත් අපව අන් අයට අවශ්‍ය බවත් මෙම කතුවරයා දැන සිටියේය. එම නිසා මෙම දේව ලියවිල්ලේ කතුවරයා පාඨකයන්ට මතක් කර දෙන්නේ “බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස තදින් අල්ලා ගෙන සිටිමු” කියාත් “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබා ගනිමු” (23-24 පද) කියාත්ය. එය දිරිමත් කිරීම යන්නෙහි විශාල කොටසක් වන්නේය. නිතරම හමුවීම සඳහා දෙවියන්වහන්සේ අපට මග පෙන්වන්නේ එම නිසාය. කෙනෙකුට ඔබගේ ආදරණීය දිරිමත් කිරීම අවශ්‍ය වනු ඇත. එසේම ඔබට නැවත ලැබෙන දේ ඔබව පුදුමයට පත් කරවනවා ඇත.