දත් හාරනු ලබන උපකරණයට පස් හැවිරිදි සාරා බිය වූවාය. ඇය දන්ත වෛද්‍යවරයාගේ පුටුවෙන් පැන නැවත එහි යාම ප්‍රතික්‍ෂේප කළාය. තේරුම් ගත් ආකාරයට හිස වනමින් “තාත්තා පුටුවට නගින්න” කියා දන්ත වෛද්‍යවරයා ඇගේ පියාට කීවේය. එය කෙතරම් පහසුදැයි දියණියට පෙන්වා දීම වෛද්‍යවරයාගේ අරමුණ යයි ජේසන් කල්පනා කළේය. ඉන්පසුව දන්ත වෛද්‍යවරයා දියණිය දෙසට හැරී “දැන් පුටුවට නැග තාත්තාගේ ඇකයේ වාඩි වෙන්න” කියා දැරියට කීවේය. ඇයගේ පියාගේ සහනය දෙන දෑතට තුරුල් වෙමින් සාරා සම්පූර්ණයෙන්ම නිසල වූ අතර වෛද්‍යවරයාට තම කාර්යය කර ගෙන යාමට හැකි විය.

තම ස්වර්ගීය පියාණන්ගේ සහනයේ අභිමුඛය ගැන බලවත් පාඩමක් එදින ජේසන් ඉගෙන ගත්තේය. “සමහර විට දෙවියන්වහන්සේ අප ගමන් කළ යුතු මාර්ගය තෝරා නොදෙන සේක. නමුත් දෙවියන්වහන්සේ මට පෙන්වමින් සිටියේ ‘මම ඔබත් සමග සිටිමි’ කියාය” යනුවෙන් ජේසන් පැවසීය.

අප මුහුණ දෙන කරදරවලදී අපට ශක්තියක් ගෙන දෙන දෙවියන්වහන්සේගේ සහනයේ අභිමුඛය සහ බලය ගැන ගීතාවලිය 91 කථා කරයි. උන්වහන්සේගේ බලවත් හස්තයෙහි විශ්‍රාම ගත හැකි බව මෙන්ම “ඔහු මට යාච්ඤා කරන්නේය. මමද උත්තර දෙන්නෙමි. දුකේදී ඔහු සමග සිටින්නෙමි” (15 පදය) යන පොරොන්දුවද දැන ගැනීම අපට මහත් සහතිකයක් වන්නේය.

වළක්වා ගත නොහැකි බොහෝ අභියෝගයන් සහ පරීක්‍ෂාවන් ජීවිතයට තිබේ. එසේම අපි අනිවාර්යයෙන්ම වේදනාව සහ පීඩාව තුළින් යා යුතු වන්නෙමු. නමුත් දෙවියන්වහන්සේගේ ස්ථිර දෑත් අපව වැළඳ ගෙන ඇති කල්හි අපට අපගේ වේදනාවන් සහ තත්ත්වයන් දරා ගෙන ඒවා තුළින් වැඩෙන්න අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමට උන්වහන්සේට ඉඩ දිය හැකි වන්නේය.