පර්යේෂණ වලට අනුව තමන්ට ඇති දේවල් ගැන උවමනාවෙන් කෘතඥ වන අය හොඳින් නිදා ගන්නා බවත් රෝග ලක්‍ෂණ අඩුවෙන් පෙන්නුම් කරන බවත් වඩාත් ප්‍රීතියෙන් සිටින බවත් සොයා ගෙන තිබේ. ඒවා කැපී පෙනෙන වරප්‍රසාදයන්ය. මනෝ විද්‍යාඥයින් යෝජනා කරන්නේ අපගේම යහජීවනය වර්ධනය කර ගැනීම වෙනුවෙන් “කෘතඥතා සටහන් පොතක්” තබා ගන්නා ලෙසත් සෑම සතියකම තමන් කෘතඥවන දේවල් පහක් ලියන ලෙසත්ය.

කෘතඥතාවය ක්‍රියාත්මක කිරීමට දේව වචනය ආරම්භයේ සිට උනන්දු කරයි. ආහාර සහ විවාහයේ සිට (1 තිමෝති 4:3-5) මැවිල්ලේ අලංකාරය දක්වා (ගීතාවලිය 104) ඇති දේ ත්‍යාගයන් ලෙස දකින ලෙසත් ඒවා ලබා දුන් තැනන්වහන්සේට ස්තුති කරන ලෙසත් බයිබලය පවසයි. විශේෂයෙන් ඉශ්‍රා‍යෙලයට කෘතඥ විය හැකි කාරණා පහක් ගැන ගීතාවලිය 107 හි ලැයිස්තු ගත කර තිබේ. එනම් කාන්තාරයෙන් ඔවුන්ව මුදා ගැනීම (4-9 පද) වහල් කමින් නිදහස් කිරීම (10-16 පද) රෝගයෙන් සුවය (18-22 පද) මුහුදෙහි ආරක්‍ෂාව (23-32 පද) සහ මුඩු බිමක ඔවුන්ගේ සමෘද්ධිය (33-42 පද)  ඒ අතර වන්නේය. මේවා දෙවියන්වහන්සේගේ නොවෙනස්වන ප්‍රේමයේ ලකුණු නිසා “ස්වාමින්ට ස්තුති කරව්” කියා ගීතිකාකරු නැවත නැවතත් කියන්නේය (8,15,21,31 පද).

ඔබ වෙත සටහන් පොතක් තිබෙනවාද? දැනට ඔබ කෘතඥ වන කරුණු පහක් නොලියන්නේ මන්ද? එය ඔබ දැන් රසවිඳි ආහාර වේලක්, ඔබගේ විවාහය හෝ ඉශ්‍රායෙල්වරුන් මෙන් අද දක්වා ඔබගේ ජීවිතයේ දෙවියන්වහන්සේ කරන ලද මුදා ගැනීම් විය හැකිය. පිටත ගායනා කරන කුරුල්ලන්, ඔබගේ මුළුතැන් ගෙයින් එන සුවඳ, ඔබ වාඩිවී සිටින පුටුවේ පහසුකම සහ ඔබට ප්‍රේම කරන අයගේ මිමිණීම් වැනි දේවල් ගැන ස්තුති කරන්න. මේ එකින් එක ත්‍යාගයක් සහ දෙවියන්වහන්සේගේ නොවෙනස්වන ප්‍රේමයේ ලකුණකි.