ලැන්ඩෝ නම්වූ මැනිලා නුවර පොදු ප්‍රවාහන රථ රියැදුරෙක් පාර අසල කඩයකින් කෝපි කෝප්පයක් බොමින් සිටියේය. කෝවිඩ් 19 නිරෝධායනයෙන් පසුව මගීන් නැවතත් ගමන් බිමන් ආරම්භ කර තිබුණි. එසේම අද පැවැත්වෙන ක්‍රීඩා උත්සවය නිසා වැඩි සංඛ්‍යාවක් මගීන් සිටී යැයි ඔහු සිතුවේය. මගේ නැතිවුනු ආදායම සොයා ගැනීමට හැකිවේවි. අවසානයේ මට කණස්සලු වෙන එක නවත්වන්න පුළුවන් වේවි කියා ඔහු සිතුවේය.

ඔහු රථය පන ගන්වන්න උත්සාහ කරන විට බංකුවක වාඩිවී සිටින රොනී ඔහුගේ ඇස ගැටුණි. පාර අතුගාන්නා කරදරයක සිටින බවත් ඔහුට කථා කළ යුතු බවත් ලැන්ඩෝට හැඟුණි. නමුත් හැම විනාඩියක්ම වටිනවාය කියා ලැන්ඩෝ සිතුවේය. වැඩි මගීන් ප්‍රමාණයක් යනු වැඩි ආදායමකි. මට ප්‍රමාද විය නොහැකියි. නමුත් රොනී වෙතට යන්න යයි දෙවියන්වහන්සේ කියන බව ලැන්ඩෝට හැඟුණි. එම නිසා ඔහු එසේ කළේය.

කණස්සලු නොවී සිටීම කෙතරම් අපහසුදැයි යේසුස්වහන්සේ දැන සිටි සේක (මතෙව් 6:25-27). ඒ හෙයින් උන්වහන්සේ සහතික කළේ අපගේ ස්වර්ගීය පියාණන්වහන්සේ අපට අවශ්‍ය කුමක්දැයි නිසැකවම දන්නා බවයි (32 පදය). කණස්සලු නොවන ලෙසටත් උන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වන දෙය කිරීමට අපි කැප විය යුතු බවටත් අපට මතක් කෙරේ (31-33 පද). අපි උන්වහන්සේගේ අරමුණු වැළඳ ගෙන කීකරු වන කල “අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවන සේක් නම්” අපගේ පියාණන්වහන්සේ උන්වහන්සේගේ කැමැත්තේ ප්‍රකාරයට සියලු මැවිල්ලට සපයන්නාක් මෙන් අපටත් සපයන බව අපට විශ්වාස කළ හැකිය (30 පදය).

රොනී සමග ලැන්ඩෝ කළ සාකච්ඡාව නිසා පාර අතුගාන්නා යාච්ඤා කර ක්‍රමයෙන් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් වූයේය. “දෙවියන්වහන්සේ එදින ඇති තරම් මගීන් සැපයූ සේක. උන්වහන්සේ මට මතක් කර සිටියේ මගේ අවශ්‍යතාවයන් උන්වහන්සේගේ සැළකිල්ල බවත් මම කළ යුත්තේ උන්වහන්සේව අනුගමනය කිරීම බවත්ය” කියා ලැන්ඩෝ බෙදා ගත්තේය.