යේසුස්වහන්සේ මගේ පුතා ජෙෆ්ව මත් ද්‍රව්‍යවලින් මුදවා ගෙන වසර ගණනාවක් ගතව තිබුණත් මට තවමත් කණස්සලු තිබුණි. අපි බොහෝ දේවල් තුළින් ගියෙමු. එසේ හෙයින් මගේ අවධානය බොහෝ විට ඔහුගේ අසීරු අතීතය ගැන මිස ඔහු ගැන වූ දෙවියන්වහන්සේගේ අනාගතය ගැන නොසිතුවෙමි. මත්ද්‍රව්‍ය ලෝලීන්ගේ දෙමාපියන් බොහෝ විට නැවත වැටීම් ගැන කණස්සලු වෙති. එක් දිනක් පවුලේ එකතුවීමකදී මම ජෙෆ්ව පසෙකට කැඳවා “මතක තබා ගන්න. අපට සතුරෙක් සිටී. ඔහු බලවත්” කියා කීවෙමි. “මම දන්නවා තාත්තා. ඔහුට බලය තිබේ. නමුත් අධිකාරිත්වයක් නැත” කියා ජෙෆ් පිළිතුරු දුන්නේය.

ඒ අවස්ථාවේදී අපව පාපයෙන් ගළවා ගැනීමට සහ අපි උන්වහන්සේ දෙස බලන කල අපගේ ජීවිත වෙනස් කිරීමට ඇති යේසුස්වහන්සේගේ අසමසම අධිකාරීත්වය මට සිහිපත් වුනි. උන්වහන්සේ ස්වර්ගයට යාමට සුළු වේලාවකට පෙර ගෝලයන්ට කිවූ උන්වහන්සේගේ වචන ගැන මම එකෙණෙහිම කල්පනා කළෙමි. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් ….” (මතෙව් 28:18-19).

අපගේ අතීතය කුමක් වූවත් කුරුසපත්වී උත්ථාන වූ යේසුස්වහන්සේ අපට මාර්ගයක් සාදා තිබේ. උන්වහන්සේ අපගේ අතීතය සහ අනාගතය යන දෙකම ග්‍රහණය කර ගෙන සිටින සේක. සෑම කල්හිම අප සමග සිටින බවට උන්වහන්සේ පොරොන්දු වී ඇති හෙයින් (20 පදය) උන්වහන්සේ තමන්වහන්සේගේ අරමුණු ඉෂ්ට කර ගන්නා බවත් අපගේ ජීවිත උන්වහන්සේගේ නොවෙනස්වන දෑතේ රඳවා ගෙන ඇති බවත් අපට සහතික විය හැකිය. යේසුස්වහන්සේ අසමසම බලාපොරොත්තුවක් අපට දෙන සේක. ඒ බලාපොරොත්තුව ඒ තරම්ම යහපත් වන හෙයින් එය අපටම තබා ගත නොහැකිය. යක්‍ෂයාට සහ ලෝකයට ටික කාලයකට බලයක් තිබිය හැකිය. නමුත් “සියලු බලය” සදාකාලයටම අයිති වන්නේ යේසුස්වහන්සේටය.