අපගේ විවාහ මංගල්‍යය උත්සවයේදී අපගේ දේව සේවකයා “මරණය ඔබව වෙන් කරන තුරු ඔබගේ ස්වාමි පුරුෂයාට ප්‍රේම කරන්ටද, ගෞරව කරන්ටද කීකරු වන්ටද පොරොන්දු වන්නේදැයි” මගෙන් ඇසුවේය. මගේ ප්‍රේමවන්තයා දෙස බලමින් “කීකරු වෙන්ට?” යනුවෙන් මම මිමුණුවෙමි. අපි අපගේ සම්බන්ධතාවය ප්‍රේමය සහ ගෞරවය මත ගොඩ නගා තිබූ අතර මෙම පොරොන්දුවේ දැක්වෙන පරිදි අන්ධ කීකරුකම මත නොවේ. දෑස් විවර කර ගෙන මම කීකරුවන්න යන වචනය කියා පසුව “මම කැමැත්තෙමි” කියා කියන මොහොත මගේ ස්වාමි පුරුෂයාගේ පියා විසින් වීඩියෝ ගත කර තිබුණි.

වසර ගණනාවක් තුළ දෙවියන්වහන්සේ මට පෙන්වා ඇත්තේ කීකරුකම යන වචනයට මාගේ අකමැත්ත ස්වාමි පුරුෂයෙක් සහ භාර්යාවක් අතර ඇති සංකීර්ණ සම්බන්ධතාවයට සම්බන්ධයක් නැති බවය. කීකරුකම මම තේරුම් ගත්තේ “බලහත්කාරයෙන් යටත්වීමක්” ලෙසටය. දේව වචනය මෙයට සහයෝගය නොදක්වයි. ඒ වෙනුවට බයිබලයේ කීකරුකම යන වචනය ප්‍රකාශ කරන්නේ අපට දෙවියන්වහන්සේට ප්‍රේම කළ හැකි විවිධ මාර්ගයන්ය. මමත් මගේ ස්වාමි පුරුෂයාත් ශුද්ධාත්මයාණන්ගේ බලය තුළින් වසර තිහක විවාහ ජීවිතයක් සමරන විට අපි තවමත් යේසුස්වහන්සේටත් එකිනෙකාටත් ප්‍රේම කිරීමට ඉගෙන ගනිමින් සිටින්නෙමු.

“නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්‍ෂා කරන්නහුය” (යොහන් 14:15) කියා යේසුස්වහන්සේ පැවසූ විට උන්වහන්සේ පෙන්වූයේ දේව වචනයට කීකරුවීමේ ප්‍රතිඵලය වන්නේ උන්වහන්සේ සමග පවතින ප්‍රේමණීය සහ සමීප සම්බන්ධතාවයක් බවයි (16-21 පද).

යේසුස්වහන්සේගේ ප්‍රේමය පරාර්ථකාමීය. කොන්දේසි විරහිතය. කිසි විටෙක බලහත්කාරකමක් හෝ අපයෝජනයක් නොකරන්නේය. අපගේ සෑම සම්බන්ධතාවයකදීම අපි උන්වහන්සේ අනුව යමින් උන්වහන්සේට ගරු කරන විට උන්වහන්සේට කීකරුකම ඥානවන්ත වූ ප්‍රේමණීය වූ ඇදහිල්ලේ සහ නමස්කාරයේ ක්‍රියාවක් ලෙස දකින්න ශුද්ධාත්මයාණන්වහන්සේ අපට උපකාර කරන සේක.