වසර ගණනාවකට පෙර නිව්යෝර්ක් නගරය “ආරක්‍ෂිතව සිටින්න. නිශ්චලව සිටින්න” කියා දැන්වීමක් දියත් කළේ සෝපානයක සිරවූ විට නිසලව ආරක්‍ෂිතව සිටින ආකාරය සෙනගට ඉගැන්වීමටය. විද්‍යාඥයින් පෙන්වා දුන්නේ සිරවූ මගීන් වෙනත් ආකාරයකින් දොරවල් විවෘත කිරීමට හෝ පිට වීමට වෙනත් මාර්ග භාවිතා කිරීමට හෝ උත්සාහ කිරීමේදී මිය යන බවයි. හොඳම සැළසුම් මාර්ගය වන්නේ අනතුරු ඇඟවීමේ බොත්තම ඔබා ආපදා සේවකයින් පැමිණෙන තුරු නිසලව සිටීමයි.

පාපයෙන් පහළට ඇදී යාමෙන් සිරවී සිටින අය ගළවා ගැනීමට වෙනස් ආකාරයක ගැළවීමේ මාර්ගයක් අපෝස්තලු පාවුල් ඉදිරිපත් කළේය. එපීසවරුන් ඇත්තෙන්ම ඔවුන්ගේ “වරද සහ පාප කරණකොට ගෙන මැරී” (එපීස 2:1) සිටින බව පාවුල් ඔවුන්ට මතක් කර දුන්නේය. ඔවූහු යක්‍ෂයාට කීකරුවී දෙවියන්වහන්සේට යටත් වීම ප්‍රතික්‍ෂේප කර සිරව සිටියහ (2 පදය). එහි ප්‍රතිඵලය වූයේ දෙවියන්වහන්සේගේ උදහසට ඔවුන් බඳුන් වීමයි. නමුත් ආත්මික අන්ධකාරයේ සිරවී සිටින්ට උන්වහන්සේ ඔවුන්ට ඉඩ නොදුන් සේක. නමුත් යේසුස්වහන්සේ කෙරෙහි අදහා ගත් අය ගැන අපෝස්තලු වරයා ලීවේ “අනුග්‍රහයෙන් …. ගැළවී සිටින්නහුය” කියාය (5 සහ 8 පද).

ඒ දෙවියන්වහන්සේගේ ගැළවීමේ මුල් පියවරට ප්‍රතිචාරයක් වශයෙන් වූ ඇදහිල්ලේ ප්‍රතිඵලයකි. ඇදහිල්ල යනු අපවම ගළවා ගැනීමේ උත්සාහය අත හැර අපව ගළවා ගන්නා ලෙසට යේසුස්වහන්සේට ඇරයුම් කිරීම වන්නේය.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් පාපයේ උගුලෙන් ගැළවීම ආරම්භ වන්නේ අප තුළින් නොවේ. එය යේසුස්වහන්සේ තුළින් පමණක් වන “දෙවියන්වහන්සේගේ දීමනාවය” (8 පදය).