ලෝක මහා යුද්ධය අවසන් කළ පැරිසියේ සාම සමුළුවට පසුව ප්‍රංශ මාර්ෂල් ෆර්ඩිනැන්ඩ් ෆොක් මහත් ශෝකයෙන් ප්‍රකාශ කළේ “මෙය සාමය නොවේ. මෙය වසර විස්සක සටන් විරාමයක් පමණි” කියාය. “මේ යුද්ධය සියලු යුද්ධ වල අවසනායය” යනුවෙන් තිබූ ජනප්‍රිය මතය ෆොක්ගේ මතයට වඩා පරස්පර විරෝධී වූයේය. වසර විස්සක් සහ මාස දෙකකට පසුව දෙවන ලෝක යුද්ධය ඇති විය. ෆොක් නිවැරදි විය.

බොහෝ කාලයකට පෙර එකල සිටි එකම සත්‍ය අනාගතවක්තෘ වන මීකායා අඛණ්ඩව අනාවැකි කීවේ ඉශ්‍රායෙල්ට ලැබෙන දරුණු හමුදාමය ප්‍රතිඵල ගැනය (2 ලේකම් 18:7). සංසන්දනාත්මකව ආහබ් රජුගේ බොරු අනාගතවක්තෘන් හාර සියයක් අනාවැකි කීවේ ජයග්‍රහණය ලැබෙන බවටය. “මීකායා කැඳවා ගෙන එන්ට ගිය පණිවිඩකාරයා ඔහුට කථා කොට බලව, ප්‍රොපේතවරුන්ගේ වචනය එක ලෙසම රජු ගැන යහපත්ව තිබේ. ඒ නිසා නුඹේ වචනයත් ඔවුන්ගෙන් එක්කෙනකුගේ වචනය මෙන් වෙන පිණිස යහපත කියන්නැයි කීවේය” (12 පදය).

මීකායා ප්‍රතිචාර දක්වමින් “… මාගේ දෙවියන්වහන්සේ කියන දෙයම කථා කරන්නෙමියි කීවේය” (13 පදය).
“සියලු ඉශ්‍රායෙල්වරුන් එඬේරෙකු නැති බැටළුවන් මෙන් කඳුවල විසිර ඉඳිනු දුටුමි” (16 පදය) කියා ඔහු අනාවැකි කීවේය. මීකායා නිවැරදි විය. අරාමිවරු ආහබ්ව මරා දැමූ අතර ඔහුගේ හමුදාව විසිර ගියේය (33-34 පද; 1 රාජාවලිය 22:35-36).

යේසුස්වහන්සේව අනුගමනය කරන අපිත් මීකායා මෙන් ජනප්‍රිය මතයට විරුද්ධ පණිවිඩයක් බෙදා ගන්නෙමු. “මා කරණකොට ගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6) කියා යේසුස්වහන්සේ කී සේක. එම පණිවුඩය ඉතා පටු ලෙස පෙනෙන හෙයින් බොහෝ දෙනෙක් එයට අකමැතිය. එය සීමිත වැඩිය කියා සෙනග පවසති. එසේ වූවත් ක්‍රිස්තුස්වහන්සේ ගෙන එන්නේ සහනය ඇතුළත් පණිවුඩයකි. උන්වහන්සේ වෙතට පැමිණෙන ඕනෑම කෙනෙක්ව උන්වහන්සේ පිළිගන්නා සේක.