කුඩා බොරුවලට වඩා ලොකු බොරු බලවත් බව ඇඩොල්ෆ් හිට්ලර් විශ්වාස කළේය. ඛේදවාචකය නම් ඔහු තම මතය සාර්ථකව ක්‍රියාත්මක කිරීමයි. ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් අවධියේදී ඔහු අන් අයගේ බලාපොරොත්තු වලට සහය දීමෙන් සෑහිමට පත්වන බව කීවේය. ඔහු බලයට පැමිණි පසුව ඔහුගේ පක්‍ෂය කිසිවෙකුට පීඩා කිරීමට බලාපොරොත්තු නොවන බව පැවසීය. පසුව තමා පියෙකු සහ සදාචාර සම්පන්න නායකයෙක් බව පෙන්වීමට මාධ්‍යය යොදා ගත්තේය.

අපගේ ජීවිත කෙරෙහි බලය ලබා ගැනීමට සාතන් බොරු යොදා ගනියි. ඔහු බොරු කාරයෙක් සහ බොරුවේ පියා (යොහන් 8:44) වන හෙයින් හැකි සෑම විටම ඔහු බිය, කෝපය සහ කලකිරීම උපදවන්නේය. සාතන් තුළ සත්‍යය නොමැති හෙයින් සත්‍යය ප්‍රකාශ කිරීමට නොහැකි බව යේසුස්වහන්සේ කී සේක.

සාතන්ගේ බොරු කිහිපයක් මෙහි සඳහන් කරමි. පළමුවෙන් අපගේ යාච්ඤා වැදගත් නැති බවය. මෙය සත්‍යය නොවේ. බයිබලයේ සඳහන් වන්නේ “ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් ඔප්පු කරන කන්නලව්ව කරණකොට ගෙන මහත් දේ ඉෂ්ට වෙයි” (යාකොබ් 5:16) යනුවෙනි. දෙවනුව අපට කරදරයක් පැමිණි විට ඉන් මිදීමට මගක් නොමැති බවය. නැවතත් වැරදිය. “මක්නිසාද දෙවියන්වහන්සේට සියල්ල පුළුවන..” සහ උන්වහන්සේ “ගැළවෙන මාර්ගයද සාදා දෙන සේක” (1 කොරින්ති 10:13). තුන්වෙනුව දෙවියන්වහන්සේ අපට ප්‍රේම නොකරන බවය. එයත් අසත්‍යය. කිසිවකට “ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කළ නොහැකි වන්නේය” (රෝම 8:38-39) යනුවෙන් සඳහන් වේ.

දෙවියන්වහන්සේගේ සත්‍යය බොරුවට වඩා බලවත්ය. අපි යේසුස්වහන්සේගේ ඉගැන්වීම්වලට උන්වහන්සේගේ ශක්තියෙන් කීකරු වන විට අපි “සැබෑව” දැනගෙන බොරුව ප්‍රතික්‍ෂේප කරන්නෙමු. “සැබෑවද නුඹලා නිදහස් කරන්නේය” (යොහන් 8:31-32).