සතියකට වරක් මගේ බිරිඳ වන සූ සේවය කරන බයිබල් පංතියෙන් පසුව යුක්‍රේනයේ යුද්ධයෙන් බැට කන දරුවන්ට උපකාර කරන පිණිස මුදල් පරිත්‍යාග කරන ලෙස දරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී. ව්‍යාපෘතිය ගැන සූ මාගේ මිණිපිරිය වන එකොළොස් හැවිරිදි මැගීට කියා සතියකට පසුව ඇයගෙන් තැපෑලෙන් කවරයක් ලැබුණි. “යුක්‍රේනයේ දරුවන් වෙනුවෙන් මා වෙත ඇත්තේ මෙපමණයි. පසුව තවත් එවන්නෙමි” යනුවෙන් සඳහන් ලිපියක් සමග ඩොලර් 3.45 ක් එම කවරයේ තිබුණි.

උපකාර කරන්නයැයි සූ විසින් මැගීට යෝජනා කර නොතිබුණි. සමහර විට ආත්මයාණන්වහන්සේ ඇයව පොළඹවන්ට ඇති. යේසුස්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට කැමති මැගී එසේ ප්‍රතිචාර දැක්වූවාය.

විශාල හදවතකින් කරන ලද මෙම ත්‍යාගය ගැන සිතන විට අපට බොහෝ දේවල් ඉගෙන ගත හැකිය. එය 2 කොරින්ති 9 හි පාවුල් දී ඇති සමහර උපදෙස් ඉස්මතු කර දක්වයි. පළමුව අප විසින් “නොමසුරුව” වැපිරිය යුතු බව අපෝස්තලු වරයා යෝජනා කරයි (6 පදය). “මට ඇති සියල්ල” යන ත්‍යාගය ඇත්තෙන්ම නොමසුරු එකකි. තව දුරටත් පාවුල් ලියන්නේ “ඕනෑම නිසා” (7 පදය) නොව දෙවියන්වහන්සේ මග පෙන්වන ලෙස සහ අපට හැකි අයුරින්ද අපගේ ත්‍යාගයන් සතුටු සිතින් දිය යුතු බවයි. තවද “ඔහු …. දිළිඳුන්ට දුන්නේය” යන ගීතාවලිය 112:9 උපුටා දක්වමින් ඔහු එහි අගය පෙන්වා දුන්නේය.

දීමට අවස්ථාවක් පැමිණි විට අපි ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේදැයි දෙවියන්වහන්සේගෙන් අසමු. අප ත්‍යාගශීලිව සතුටු සිතින් උන්වහන්සේ මග පෙන්වන ලෙස අවශ්‍යතාවයෙන් සිටින අයට දෙන විට එය “දෙවියන් වහන්සේට ස්තුති උපදවන්නේය” (2 කොරින්ති 9:11). එය විශාල හදවතකින් දීමකි.