අවසානයේදී අප සියල්ලන්ම ආශා කරන දෙයක් නිලියක් වන සැලී ෆීල්ඩ්ට දැනුණි. 1985 දී ඇය දෙවන වරට ඔස්කාර් සම්මානය දිනා ගත් විට එය භාර ගැනීමේ කථාවේදී ඇය පැවසුවේ “සෑම දෙයකටම වඩා මට අවශ්‍ය වූයේ ඔබගේ ගෞරවයයි. පළමු වතාවේදී මට එය දැණුනේ නැත. මෙවර මට එය දැනේ. ඔබ මට කැමතියි. මේ දැන් ඔබ මට කැමතියි යන සත්‍යය මට ප්‍රතික්‍ෂේප කළ නොහැක” යනුවෙනි.

තමාගේ පිළිගැනීම ගැන එතියෝපීය නපුංසකයෙක්ද පුදුමයට පත් විය. අන්‍ය ජාතිකයෙක් සහ නපුංසකයෙක් ලෙස මාළිගයේ ඇතුල් මළුවට යාමට ඔහුට නොහැකි විය (එපිස 2:11-12; ද්වීතීය කථාව 23:1). එහෙත් ඇතුල් වීමට ඔහු දැඩි ලෙස ආශා කළේය. යෙරුසලමට ගිය අතෘප්තිකර වන්දනා ගමනකින් පසුව ආපසු එමින් සිටි ඔහුව පිලිප්ට හමුවුනි (ක්‍රියා 8:27).

එතියෝපියානු මිනිසා යෙසායා පොත කියවමින් සිටියේය. “…. මාගේ ගිවිසුම අල්ලා ගෙන….” සිටින නපුංසකයන් “මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද …. සිහිවීම් ලකුණක්ද නාමයක්ද” ලබන්නේය යන පොරොන්දුව එහි තිබුණි (යෙසායා 56:4, 5). මෙය සිදුවන්නේ කෙසේද? ඉන්පසු පිලිප් “යේසුස්වහන්සේ ගැන ඔහුට දේශනා කළේය”. එවිට නපුංසකයා ප්‍රතිචාර දක්වමින් “මෙන්න වතුර තිබේ. බව්තිස්ම කරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද” කීවේය (ක්‍රියා 8:35-36).

ඔහු ඇසුවේ මට ඇත්තටම ඉඩ දෙනවාද? මම අයිතිද? යනුවෙනි. පිලිප් ඔහුව බව්තිස්ම කළේ යේසුස්වහන්සේ සෑම බාධාවක්ම බිඳ ඇති බවට සළකුණක් ලෙසිනි (එපීස 2:14). පාපයෙන් හැරී උන්වහන්සේ කෙරෙහි තම විශ්වාසය තබන සෑම කෙනෙක්ම යේසුස්වහන්සේ වැළඳ ගන්න සේක. එක්සත් කරන සේක. ඔහු ප්‍රීති වෙමින් තමාගේ ගමන ගියේය (ක්‍රියා 8:39). ඔහු අවසානයේ සම්පූර්ණයෙන් අයිති විය.